කොළඹ මධ්‍යම තැපෑලේ අද සිට උපවාසයක්

කොළඹ මධ්‍යම තැපෑලේ අද සිට උපවාසයක්

තැපැල් දෙපාර්තමේන්තුව නිවැරැදි මඟක ගෙන යන තැපැල්පතිවරයෙකු පත්කරන ලෙස ඉල්ලමින් අද (14) සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කරනුයේ ආයතනයක නිලධාරියකුට එරෙහිව කටයුතු කිරීමේදී ක්‍රමවේදයක් තිබෙන බවයි. වෘත්තීය සමිති මගින් තැපැල්පතිවරයාට එරෙහිව එල්ල කරන ලද චෝදනා සම්බන්ධව මේ වන විට පරීක්‍ෂණයක් පැවැත්වෙමින් තිබෙන බව ද, ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එසේ තිබියදී වෘත්තීය සමිති තැපැල් කටයුතු අවුල් කිරීමට කටයුතු කළහොත් තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමට විවිධ පියවරයන් ගැනීමට සිදුවන බව ද ඇමැතිවරයා පැවසීය. රටේ නීතියක් තිබෙන බවත්, කවුරුන් හෝ වරදක් කර තිබෙනවා නම් නිත්‍යානුකූලව දඬුවම් ලබාදිය යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

තැපැල්පති එම්. කේ. බී. දිසානායක මහතා පැවසූයේ වෘත්තීය සමිති තමන්ට එරෙහිව කරන චෝදනා තමා ප්‍රතික්‍ෂේප කරන බවයි. තමා අවංක පුද්ගලයෙකු නිසා කවුරුන් හෝ තමාට චෝදනා ඉදිරිපත් කරනවා නම් ඒවාට පිළිතුරු ලබා දීමට තමා සූදානම් බව ද ඔහු පැවසීය. තමන් තැපැල් දෙපාර්තමේන්තුව පෙරට ගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන නිවැරදි ක්‍රමවේදය දෙස බලා සිටිය නොහැකි වෘත්තීය සමිති සාමාජිකයන් තමන්ට එරෙහිව කලක සිට කටයුතු කරන බව ද තැපැල්පති එම්. කේ. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

තැපැල්පතිවරයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අද (14) දින දහවල් 12.00 ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවයි. එම වේලාවේ සිට අතිකාල වර්ජනයක් ද ආරම්භ කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා