මිල්කෝ සමාගමෙන් හයිලන්ඩ් දියර කිරි පැකට්

මිල්කෝ සමාගමෙන් හයිලන්ඩ් දියර කිරි පැකට්

මිල්කෝ සමාගම හඳුන්වා දුන් හයිලන්ඩ් නැවුම් දියර කිරි පැකට් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පසුගියදා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගන් තොණ්ඩමාන් මහතා විසින් පිරිනමන ලදි.

මහින්ද චින්තන ජාතික ප්‍රතිපත්තිය යටතේ දේශීය ජනතාවට පිටිකිරි වෙනුවට දියර කිරි භාවිතය හුරු කරවීමේ එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දිය හැක.

මෙම දියර කිරි පැකට් නිෂ්පාදනය කරනු ලබන්නේ පින්ලන්තයෙන් ගෙන්වූ අතිනවීන යන්ත්‍රයක් මගිනි.

ඇමැති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සංකල්පයක් අනුව මෙම යන්ත්‍රය මිල්කෝ ආයතනයේ පොළොන්නරුව කර්මාන්ත ශාලාවේ ස්ථාපනය කර ඇත. ඉදිරියේදී තවත් මෙවැනිම යන්ත්‍රයක් මිල්කෝ සමාගමේ දිගන කර්මාන්ත ශාලාවේ ස්ථාපනය කිරීමට නියමිතය.

මෙම යන්ත්‍රයේ ධාරිතාව පැයකට කිරී ලීටර් 4200කි. මිලි ලීටර් 180 ප්‍රමාණයේ රසකල කිරි පැකට් 10,800ක් පැයකට නිෂ්පාදනය කළ හැක. මේ තුළින් තත්ත්වගත කරන ලද සම්පුර්ණ යොදය සහිත කිරි මිලිලීටර් 450 සහ 900 ප්‍රමාණයේ කිරිපැකට් ද නිෂ්පාදනය කළ හැකිවීම විශේෂත්වයකි.

මෙම යන්ත්‍රය මඟින් නිෂ්පාදනය කරන කිරි පැකට් ශීතකරණයක නොතබා මාසයක් පමණ කාලයක් සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තැබිය හැක. මේ නිසා ශීතකරණයක් නොමැති සාමාන්‍ය වෙළඳසලක පවා අවශ්‍ය තත්ත්වයන් යටතේ තැබිය හැක.

යුද්ධය අවසන් වීමත් සමග උතුරු නැ¼ගෙනහර කිරි කර්මාන්තයෙහි නියලෙන ගොවීන්ගේ කිරි නිෂ්පාදන මිල්කෝ සමාගමේ පොළොන්නරුව කර්මාන්ත ශාලාවෙන් එකතු කර එම කිරි මගින් මෙම නිෂ්පාදන කිරීමට සමාගම පියවර ගෙන ඇත.

ජනාධිපතිතුමාට නැවුම් දියර කිරි පැකට්ටුව පිරිනැමීමේ අවස්ථාවට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්. ආර්. මිත්‍රපාල, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති ආර්. එම්. ඩී. ඇල්ලේගල, මිල්කෝ සභාපති සුනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු උසස් නිලධාරිහු සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා