ජයග්‍රහණ රැසක් සමඟ ජනපති මවුබිමට

ජයග්‍රහණ රැසක් සමඟ ජනපති මවුබිමට

දහ හත් වන සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සාර්ථක සංචාරය නිමා කර පෙරේදා (12) යළි මවුබිමට පැමිණියේය.

“අන්‍යෝන්‍ය සබඳතා වැඩි දියුණු කිරීම” යන තේමාව යටතේ මාලදිවයිනේ අද්දු නගරයේ පැවැති සාක් රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් දිනා දීමට ජනාධිපතිවරයාට හැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ්, නේපාල අග්‍රාමාත්‍ය බාබුරාම් භට්ටරායි, ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි, ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, පකිස්ථානයේ අග්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානි, සහ භූතානයේ අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ මහත්වරු සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාව මුහුණ දෙනු ලබන ධීවර ගැටලුව පිළිබඳ විශේෂ අවධානයට යොමු වූ අතර, මෙම ගැටලුව ඉතා සුහදශීලී අන්දමින් විසඳා ගැනීමට හැකි කරුණක් බව මෙහිදී දෙපාර්ශවය විසින්ම අවධාරණය කෙරුණි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් අද්දු නගරයේ මරුදු හා සෙයිදූ ප්‍රදේශ යා කරමින් දැනට පවතින මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සදහා මුල්ගල තැබීම ද මෙම සංචාරයේ දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව මෙවර මාලදිවයිනේ පැවැත්වීම සනිටුහන් කරමින් ඒ සඳහා සහභාගී වන රටවල් 08 වෙනුවෙන් ස්මාරක 08 ක් ඉදිකර තිබූ අතර, ශ්‍රී ලංකාව සඳහා ඉදිකර තිබූ ස්මාරකය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙලෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිතුමා විසින් සාර්ක් රාජ්‍ය නායකයින් වෙනුවෙන් විලිංගිලි දූපතේ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිතුමා සහභාගී විය.

සාර්ක් කලාපයේ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් සාර්ක් රටවල විදේශ අමාත්‍යවරු ගිවිසුම් 04 කට අත්සන් තැබූහ. ස්වාභාවික ආපදා සඳහා ක්ෂණික ප්‍රතිචාර පිළිබඳව වූ ගිවිසුම, අනුකූලතා ඇගයීම පිළිගැනීම පිළිබඳ බහුපාර්ශවික වැඩපිළිවෙළ සඳහා සාර්ක් ගිවිසුම, කලාපීය සම්මතයන් ක්‍රියාවට නැංවීම පිළිබඳ සාර්ක් ගිවිසුම සහ බීජ බැංකුවක් සඳහා වූ සාර්ක් ගිවිසුම මෙලෙස අත්සන් තැබූ ගිවිසුම් වේ.

මෙවර සමුළුවට සමගාමීව කලා හා සංස්කෘතික උළෙලක්, ක්‍රිකට් තරගාවලියක්, සිනමා උළෙලක් සහ ආහාර උළෙලක් අද්දු නගරයේ දී පැවැත්වුණු අතර, මෙම අවස්ථා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූහ. මීළඟ සාර්ක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වීමට සමාප්ති උළෙලේ දී තීරණය විය.

ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරය සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, ඒ.එච්.එම්. අස්වර් සහ කමලා රණතුංග, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා