නැෙඟනහිර පාලම් 5ක් පිළිසකරට ජපානයෙන් මිලියන 1700ක්

නැ‍ඟෙනහිර පාලම් 5ක් පිළිසකරට ජපානයෙන් මිලියන 1700ක්

වැඩ ඇරැඹීම හෙට ඇමැති බැසිල් අතින්

නැඟෙනහිර පළාතේ පාලම් 5 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජපන් යෙන් බිලියන 1.2 ක (රුපියල් මිලියන 1700) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත.

එම මුදල ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) සිදු කෙරේ.

මේ ව්‍යාපෘතිය යටතේ ඒ 5 මාර්ගයේ පාලම් 4 ක් සහ ඒ 15 මාර්ගයේ එක් පාලමක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ පාලම් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ඒ 5 මාර්ගය නැඟෙනහිර, මධ්‍යම හා ඌව පළාත් යා කෙරෙන ප්‍රධාන මාර්ගය වන අතර ඒ 15 මාර්ගය නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරයි.

වසර 60 ක් පමණ පැරැණි මේ පාලම් යුද ගැටුම් හේතුවෙන් දශක තුනක පමණ කාලයක් ප්‍රතිසංස්කරණය කර නොමැති අතර අද වන විට ගරා වැටෙන තත්ත්වයට පත්ව තිබේ.

පශ්චාත් යුද සමයේ ප්‍රතිසංස්කරණ යටතේ ඒ 5 හා ඒ 15 මාර්ග මංතීරු දෙකේ මාර්ග වශයෙන් පුළුල් කර තිබේ. ඒ අනුව මේ මාර්ග යුගයේ අවශ්‍යතාවන්ට අනුව ජාතික මට්ටමින් සංවර්ධනය සඳහා රජය පියවර ගෙන ඇත.

රජය ගෙන යන සංවර්ධන කටයුතු වල ප්‍රගතිය වෙනුවෙන් මෙය විශාල ශක්තියක් බවත් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර ලබා දීමට සූදානම් බවත් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ මෙරට ප්‍රධානී අකිරා සිමුරෝ මහතා පවසයි.

මේ පාලම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ මෙරට ප්‍රධානී අකිරා සිමුරෝ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා