සැමියාත් සමඟ හවුල් වී අම්මට නියනකින් ඇනලා

සැමියාත් සමඟ හවුල් වී අම්මට නියනකින් ඇනලා

සිය මවට නිවෙසින් පිට වී යන ලෙස බල කරමින් පහරදී නියනකින් ඇන තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දියණිය හා ඇයගේ ස්වාමි පුරුෂයා යැයි කියන තැනැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ.එම්. එන්.පී. අමරසිංහ මහතා නියෝග කළේ ය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව ඇත්තේ අක්කර පනහ කඳසුරිඳුගම පදිංචි යුවළකි. පහර කෑමට ලක්ව තුවාල ලැබූ මවගේ ස්වාමි පුරුෂයා මිය ගොස්ය. පසුව ඇය වෙනත් විවාහයක් කරගෙන ඇත. දියණිය හා ඇගේ ස්වාමිපුරුෂයා ඇතුළු සියලු දෙනා එකම නිවෙසක ජීවත් විය.

නිවසේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බව පවසමින් සිය මවට හා බාප්පාට නිවෙසින් පිටවන ලෙස දුව නිතරම පවසා ඇත. පසුගිය 18 දා මෙලෙස ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් බෑණා විසින් දියණියද දැනුවත්ව මවට නියනකින් අනීම නිසා ඇය තුවාල ලබා මීගමුව දිසා රෝහලට ඇතුලත් කර ඇත.

විත්තිකාරිය ලෙස දුව අධිකරණය ඉදිරියේ පෙනී සිටින විට ඇය ගැබිනියක් බව හෙළිවුණි. එබැවින් ඇප මත ඇයව මුදා හරින ලෙස විත්තියෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා මෙවැනි සිද්ධියක් සම්බන්ධව අධිකරණයේ අනුකම්පාව ලබාගත නොහැකි බව පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා