සම්බුද්ධ පරිනිර්වාණය සහ ආදාහන පූජාව

සම්බුද්ධ පරිනිර්වාණය සහ ආදාහන පූජාව

දෙව්මිනිසුන් සහිත ලෝකයා ගේ අසහාය ශාස්තෘවරයා වූ ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අවසන් සමය ළඟා විය. අසූ වැනි වියට එළැඹි බුදුරදුන් බේලුව නම් වූ ගමෙහි වස් සමාදන් වූ සේක. එහි දී උන් වහන්සේට “ලෝහිතපක්ඛන්දිකා” නම් වූ දරුණු රෝගය හට ගත්තේය.

සමාපත්ති බලයෙන් තාවකාලිකව රෝගය යටපත් කර ගත් උන් වහන්සේ වස් පවාරණය කොට සැවැත් නුවර දෙව්රම් මහ විහාරයට වැඩම කළ සේත.

වැඩම කොට භික්‍ෂූ සංඝයා රැස් කරවා තව නොබෝ දිනකින් තමන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වන බව දන්වා විශාලා මහනුවරට වැඩම කර චාපාල නම් වූ චෛත්‍යස්ථානයේ දී ආයු සංස්කාරය අතහැර භික්‍ෂූ සංඝයාට දහම් දෙසා මෙයින් තුන් මසක් ගිය පසුව තමන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදු වන බව දැනුම් දුන් සේක.

පසුව බුදුරදුන් විශාලා මහනුවරින් නික්ම පිළිවෙළින් භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග ග්‍රාම යන ගම්වලට වැඩම කර ජනයාට දහම් දෙසා පාවා නුවරට වැඩම කළ සේක. එහිදී චුන්ද කර්මාර පුත්‍රයා ගේ දානය වැළඳූ උන් වහන්සේ දැඩි සේ රෝගාතුර වූහ. මාස කිහිපයක් යටපත් ව තිබූ ලෝහිතපක්ඛන්දිකා රෝගය යළි මතු විය.

තමන් වහන්සේ ගේ පරිනිර්වාණය ඉතා ආසන්න වී ඇති බව දැන ගත් බුදුරදුන් භික්‍ෂු සංඝයා ද සමඟින් කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල්වනය බලා වැඩම කළහ. සල්වනයට වැඩි බුදුරදුන් අනඳ තෙරුන් ලවා සල් ගස් දෙකක් අතර උතුරට හිස දමා ඇඳක් පිළියෙල කරවා ගෙන යළිත් නොනැගිටින අදහසින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපුණු සේක. නොයෙක් සක්වළින් අප්‍රමාණ දෙවිදේවතාවෝ අවසාන වතාවටත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා කිරීමට දිවමල්, දිවගඳ ගෙණ උපවත්තන සල්වනයට පැමිණියහ. දේවතාවෝ දිවමලින්, දිවගඳින් බුදුරදුන් පිදූහ.

භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රියේ පෙරයම මල්ල රජ දරුවන් ප්‍රධාන රැස් ව සිටි මහ පිරිසට දහම් දෙසා රාත්‍රියේ මැදියම සුභද්‍ර නම් වූ පරිබ්‍රාජකයා දමනය කොට “හන්‍දදානි භික්‍ඛවෙ ආමන්තයාමි. වො වයධම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ” “මහණෙනි, දැන් මම ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එබැවින් අප්‍රමාදීව කටයුතු කරන්නැ” යි වදාළ සේක.මේ බුදුරදුන් ගේ අවසාන අවවාදය යි.

ඉක්බිති භාග්‍යවත් බුදුරදුන් පිළිවෙළින් ධ්‍යානයන්ට සමවැදී ඉන් නැගී සිට අලුයම් කාලයේ දී සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය භාවය ප්‍රකට කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. බුදුරදුන් පිරිනිවන් පෑ කල්හි මහත් වූ භූමි කම්පාවක් ඇති විය. අහසේ හෙණ හ¼ඬ පැතිරී ගියේය. අකල් වැස්සක් ද වැස්සේය.

ආදාහන පුජාව

එකල්හි මල්ල රජ දරුවෝ ශ්‍රී ශරීරයට පුරා දින සතක් මුළුල්ලේ මහත් වු පුද පූජා පවත්වා සත් වැනි දින බුදු සිරුර “මකුටබන්‍ධන” නම් වූ චෛත්‍යස්ථානයෙහි තැන්පත් කළහ. තැන්පත් කොට අනඳ මහ තෙරුන් ගේ උපදෙස් පරිදි පළමුව බුදුසිරුර අලුත් වස්ත්‍රයකින් වෙළූහ. අලුත් වස්ත්‍රයකින් වෙළා මැනවින් පොළන ලද අලුත් කපු පුළුන් පටලයකින් වෙළූහ. මැනවින් වෙළන ලද අලුත් කපු පුළුන් පටලයකින් වෙළා නැවතත් අලුත් වස්ත්‍රයකින් වෙළූහ.

මෙසේ වස්ත්‍ර යුගල් පන්සියයකින් ද කපු පුළුන් පටල පන්සියයකින්ද බුදුසිරුර වෙළා රනින් කරන ලද තෙල් දෙණක තැන්පත් කර එවැනි ම තවත් රන්දෙණකින් වසා නොයෙක් වර්ගයේ සුවඳ දරවලින් කරන ලද චිතකයෙහි රන්දෙණ තැන්පත් කළහ.

ඉක්බිති මල්ල රජ දරුවෝ සතර දෙනෙක් හිස් සෝදා නා පිරිසිදු වී සුදු වස්ත්‍ර හැඳ පොරොවා ගෙන චිතකයට ගිනි දැල්වීමට සූදානම් වූහ. කොපමණ උත්සාහ ගත්ත ද ඔවුන්ට ගිනි දැල්වීමට නොහැකි විය .

පසුව මල්ල රජ දරුවෝ අට දෙනෙක්, දහසය දෙනෙක්, තිස්දෙදෙනෙක් පිළිවෙළින් පැමිණ බුදුරදුන් ගේ චිතකයට ගිනි දැල්වීමට සූදානම් වූහ. ඒ ත් ඒ කිසිවෙකුට ත් බුදුරදුන් ගේ චිතකයට ගිනි දැල්වීමට නොහැකි විය. මෙයින් මහත් වූ පුදුමයට පැමිණි මල්ල රජ දරුවෝ දිවැස්ලාභී භික්‍ෂූන් අතුරින් අගතැන්පත් අනුරුද්ධ මහ තෙරුන් වෙත එළැඹ “ස්වාමීනි, චිතකය ගිනි නොගන්නේ කුමක් නිසාවෙන් ද?” යි ඇසූහ.

“රජ දරුවෙනි, දේවතාවන් ගේ අදහස වෙනත් එකකි.” යනුවෙන් අනුරුද්ධ තෙරහු කීහ. “ස්වාමීනි, දේවතාවන්ගේ අදහස කුමක්දැ?” යි මල්ල රජ දරුවෝ ඇසූහ. “රජ දරුවෙනි, මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් ද සමගින් පාවා නුවරින් නික්ම අවසාන වතාවට ත් බුදු සිරිපා වන්දනා කිරීමට කුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. රජ දරුවෙනි , “මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ බුදු සිරිපා නොවඳින තුරු භාග්‍යවතුන් වහන්සේගේ මේ චිතකයට ගිනි නොඇවිලේවා!” යනු දේවතාවන් ගේ අදහසයි.” යනුවෙන් අනුරුද්ධ තෙරහු කීහ. මෙය ඇසූ මල්ල රජ දරුවෝ “ස්වාමීනි, දේවතාවන් ගේ අදහස එය නම් එය එසේ ම වේවා!” යි කියා නිහඬ වූහ.

පසුව මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් සමගින් කුසිනාරා නුවර මල්ල රජ දරුවන් ගේ මකුට බන්ධන නම් වූ චෛත්‍යස්ථානය යම් තැනක ද භාග්‍යවතුන් වහන්සේ ගේ චිතකය යම් තැනක ද එතැනට එළැඹියහ. එළැඹ මහා පාංශුකූල සිවුර ඒකාංස කොට පොරොවා ගෙණ දොහොත් මුදුන් තබා වැඳ ගෙණ තුන් වරක් චිතකය වටා යමින් “මේ තැන භාග්‍යවතුන් වහන්සේ ගේ හිස ය, මේ තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා යුවල ය” යි සලකමින් බුදු සිරිපා පිහිටි ස්ථානයෙහි වැඩ සිටිමින් අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදි ඉන් නැගී සිට

“දහසක් අර ඇති චක්‍ර ලක්‍ෂණයන් ගෙන් ශෝභන වූ මාගේ ශාස්තෲන් වහන්සේගේ උතුම් සිරිපා යුවල තථාගත ශ්‍රී දේහය ඔතා ඇති කපු පුළුන් පටල පන්සියය ද වස්ත්‍ර යුගල් පන්සියය ද රන්දෙණ ද සුවඳ සඳුන් දරසෑය ද යන මේ සියල්ල දෙබෑ කර ගෙණ මාගේ හිස මත්තෙහි පිහිටන සේක්වා!” යි කියා අදිටන් කළ සේක.

එකෙණෙහි ම ශ්‍රී දේහය ඔතා තිබූ ඒ කපු පුළුන් පටල පන්සියය ද වස්ත්‍ර යුගල් පන්සියය ද රන්දෙණ ද සුවඳ සඳුන් දරසෑය ද යන මේ සියල්ල දෙබෑ කර ගෙණ වලාකුළු අතරින් නික්මෙන පුරසඳ මෙන් බුදුරජාණන් වහන්සේ ගේ රන්වන් සිරිපා යුවල නික්මුණි.

එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ දොහොත් මුදුන් තබා වැඳ රත් පියුම් පෙති දෙකක් බඳු වූ තමන් වහන්සේ ගේ දෝතින් තථාගතයන් වහන්සේ ගේ රන්වන් සිරිපා යුවල අල්ලා ගෙණ තමන් වහන්සේ ගේ හිස මුදුනෙහි තබා ගත් සේක. මේ අසිරිය දුටු රැස් ව සිටි මහ පිරිස මහ හඬින් සාධුකාර දෙමින් සුවඳ මල් චිතකයට ඉසිමින් වන්දනා කළහ.

ඉක්බිති මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ සමඟින් වැඩි පන්සියයක් භික්‍ෂු සංඝයා ද බුදු සිරිපා වන්දනා කළ කල්හි මහා කාශ්‍යප මහ තෙරුන් ගේ දෝතින් සිරිපා මිදී චිතකයෙහි සඳුන් දර ආදී කිසිවක් නොසොල්වා පෙර තිබූ ස්ථානයෙහි පිහිටි සේක. ඒ ත් සමඟින් ම දේවතානුභාවයෙන් චිතකය ගිනි ගත්තේය.

දැවෙන්නා වූ බුදුරදුන් ගේ ශ්‍රී ශරීරයේ සිවිය ද සම් ද මස් ද නහර ද යන මේ සියල්ල කිසිවක් ඉතිරි නොවී දැවී ගියේය. ඒවායේ අළු වත් දැලි වත් ඉතිරි නොවීය. ශාරීරික ධාතුන් පමණක් ම ඉතිරි විය. බුදු සිරුර වෙළා තිබූ ඒ පන්සියයක් වස්ත්‍ර අතුරින් යම් වස්ත්‍රයක් සියල්ලට යටින් වූවා ද යම් වස්ත්‍රයක් සියල්ලට පිටින් වූවා ද ඒ වස්ත්‍ර දෙක ම නොදැවුණි. ඉතිරි සියලු වස්ත්‍ර කපු පුළුන් පටල ද සමගින් දැවී ගියේය. බුදු සිරුර තැන්පත් කර තිබූ රන්දෙණ ද එලෙසින් ම ඉතිරි විය.

දීර්ඝායුෂ ඇති බුදුවරුන් ගේ ශරීර ආදාහනය කළ කල්හි ධාතු නොවිසිරී රන් කඳක් මෙන් ඒකඝන ව පවතී. අප බුදුන් අල්ප වූ ආයු ඇති බැවින් පිරිනිවන් පෑමට පෙර “මාගේ ශාසනය තවමත් සෑම තැනක ම පැතිරී නැත. බොහෝ සත්වයින් මා පිරිනිවන් පෑ පසුව මාගේ ශාරීරික ධාතූන් ගෙණ තම තමන් වාසය කරන්නා වූ ස්ථානයන්හි ස්තූප කරවා වන්දනා කර මරණින් මතු සුගතිගාමී වන්නේ ය.” සිතා ධාතූන් විසිරීමට අදිටන් කළ සේක. කුමන ධාතු නොවිසිරුණා ද? කුමන ධාතු විසිරුණා ද?

ලලාට ධාතුව ය, අකු ධාතු දෙනම ය, සතර දළදාවන් ය යන මේ මහා ධාතු සත කොටස්වලට නොකැඩී, නොබිඳී, නොවිසිරී එලෙසින් ම ඉතිරි විය. අනෙක් සියලු අස්ථි ධාතු කුඩා කැබලිවලට බෙදී වෙන්වී ගියේය.

දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහා ඍද්ධි ඇති සරභූ නමැති මහ තෙරහු දැවෙන චිතකයෙන් සර්වඥ ගී‍්‍රවාස්ථි ධාතුව ගෙණ ලක්දිවට වැඩම කළහ. සැරියුත් මහ තෙරුන් ගේ ම සිසුවෙකු වූ සියලු කෙලෙසුන් නැසූ ඛේම නමැති මහ තෙරහු දැවෙන චිතකයෙන් සර්වඥ යටි වම් දළදාව ගෙණ කාලිංග දේශයට වැඩම කළහ.

මහා කච්චාන මහ තෙරණුවෝ ධාතු බෙදීමට පෙර බුදුරදුන් ගේ අස්ථි ධාතූන් වහන්සේලා කිහිප නමක් ගත්හ. පසු කලෙක මහා කච්චාන තෙරණුවෝ තමන් වහන්සේ සතුව තිබූ බුදුරදුන් ගේ ඒ අස්ථි ධාතූන් වහන්සේලා අස්සක ජනපදයේ රජතුමා ගේ පුත්‍රයා වූ සුජාත කුමරුට දුන්හ. සුජාත කුමරු මහත් වූ ගෞරවයෙන් යුතු ව සර්වඥ ධාතු පිළිගෙන තම රාජ්‍යයට ගොස් පියතුමා ගේ ආධාරය ඇති ව ධාතු නිදන් කර මහා ස්තූපයක් කරවීය. මේ කථා පුවත විමානවස්තු අටුවාවේ චූලරථ විමාන වස්තු වර්ණනාවේ විස්තර වශයෙන් දැක්වේ.

“චත්තාළීස සමා දන්තා - කෙසා ලොමා ච සබ්බසො,
දෙවා හරිංසු එකෙකං - චක්කවාළපරම්පරා.”

මහාපරිනිර්වාණ සූත්‍රය අවසානයේ දැක්වෙන මේ ගාථාවට අනුව බුදුරදුන් ගේ සම සතළිස් දන්ත ධාතූන් ද කේශ ධාතුන් ද ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවන් ගෙන ගොස් ඇත. බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ ද මේ ගාථාව දක්නට ඇත.

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය දැවී ගිය කල්හි අහසින් ජල දහරා පහළ වී චිතකය නිවාදැමුවේය. චිතකය වටා තිබූ සල් ගස්වල අතුවලින් ද ජල දහරා මතු වී චිතකය නිවා දැමුවේය. කුසිනාරා නුවර මල්ල රජ දරුවෝද සියලු වර්ගයේ සුවඳ කුඩු දැමූ පවිත්‍ර ජලය ඉස බුදුරදුන් ගේ චිතකය නිවා දැමූහ.

ඉක්බිති මල්ල රජ දරුවෝ ධාතු සහිත රන්දෙණ මැනවින් සරසන ලද ඇතෙකු ගේ පිට මත තබා මහත් වූ පෙරහැරකින් ඇතුළු නුවරට වැඩම කරවා මැනවින් සරසන ලද මණ්ඩපයක රන්දෙණ තැන්පත් කළහ. තැන්පත් කර දැඩි සේ ආරක්ෂාව සලස්වා නැටුමෙන් , ගැයුමෙන්, වැයුමෙන් මෙන් ම මල් ගඳ සුවඳින් ද පුරා දින සතක් මුළුල්ලේ මහත් වූ පුද පූජා පැවැත් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා