කපිලවස්තුපුර මහා ස්තූපයෙන් හමුවූ සර්වඥ අස්ථි ධාතූන් වහන්සේ

කපිලවස්තුපුර මහා ස්තූපයෙන් හමු වූ මෘදු ගල් කරඬුව

සර්වඥ ධාතු නිදන් කර උතුරු ඉන්දියාවේ මුල්වරට තැනු ඒ මහා ධාතු ස්තූප අටෙන් මගධයේ අජාසත්ත මහ රජතුමා රජගහ නුවර කර වූ ධාතු ස්තූපයත්, විශාලා මහනුවර ලිච්ඡවී රජ දරුවන් කර වූ ධාතු ස්තූපයත්, කපිලවස්තුපුර ශාක්‍යයින් කර වූ ධාතු ස්තූපය ත් කුසිනාරා නුවර මල්ල රජ දරුවන් කර වූ ධාතු ස්තූපයත් යන මේ ධාතු ස්තූප සතර ඉන්දීය පුරාවිද්‍යාඥයින් ගේ ගවේෂණ හා කැණීම් මඟින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. මේ සොයා ගැනීම්වල දී ලෝකප්‍රකට මහා පුරාවිද්‍යාඥයෙකු වූ ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා මුල් වී ක්‍රියා කළේය.

මෙහි දී අප ගේ විශේෂ අවධානය යොමු වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ පියාණන් ගේ පරපුරේ ඥාතීන් වූ ශාක්‍යයින්ට ලැබුණු අස්ථි ධාතු කොටස නිදන් කර කපිලවස්තු පුරයේ තැනු ධාතු ස්තූපය වෙත යි. ක්‍රි. පු. 6 වැනි සියවසේ පටන් දඹදිවින් බුදුදහම නැති වී යන තුරුම දඹදිව බෞද්ධයින් ගේ මහත් වූ වන්දනාවට ත් ගෞරවාදරයට ත් පත් වූ මේ ධාතු , ස්තූපය කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී, වල් බිහි වී ජරාවාස වී තිබුණි. මේ ධාතු ස්තූපය වෙත මෑත කාලයේ අවධානය යොමු වූයේ 19 වැනි සියවස අග භාගයේ දී ය. කෙසේ හෝ වේවා මේ ධාතු ස්තූපය ශාක්‍යයින් විසින් කර වූ ධාතු ස්තූපය බව ඉතා පැහැදිලිව ම හඳුනා ගත්තේය. ස්තූපය අවට සංඝාරාමයන්හි නටබුන් දක්නට ලැබේ.

කපිලවස්තුපුර ධාතු ස්තූපය ප්‍රමාණයෙන් තරමක් විශාල ය. අවස්ථා කිහිපයක දී ස්තූපය විශාල කර තිබේ. මේ ස්තුපය “කපිලවස්තු ධාතු ස්තූපය” , “ පිප්හ්රාවා ධාතු ස්තූපය “ , “ ශාක්‍යයින්ගේ ධාතු ස්තූපය” යන නම්වලින් ප්‍රකට ය.

ශාක්‍ය දේශයේ පුරාණ භූමියෙන් විශාල ප්‍රදේශයක් අද නේපාල රාජ්‍යයට අයත්ව තිබේ. කොටසක් ඉන්දියාවට අයත් ව තිබේ. මේ ධාතු ස්තූපය සහිත සංඝාරාමය අයත් වන්නේ ඉන්දියාවට ය. ස්තූපය ගඩොලින් බැඳ තිබේ. මෙහි කළ කැණීම්වලින් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු හමු විය. කපිලවස්තුවේ පිප්හ්රාවා මහා ස්තූපයෙන් හමු වූ එක් මෘදුගල් කරඬුවක පියනේ “ ඉයං සලිල නිධනෙ බුධස භගවත සකියානං සුකිති භාතිනං සභගිනිකානං සපුතදලනං” යන පාඨය බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ඉතා පැහැදිලිව සටහන් කර තිබුණි.

මේ සටහනට අනුව කරඬුව තුළ වූ අස්ථි කොටස් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ අස්ථි ධාතු ම බව සැකයකින් තොර ව තහවුරු විය. මේ කරඬුව තුළ තිබී හමු වූ ධාතුන් වහන්සේලා ප්‍රමාණයෙන් කුඩා ය. පසුව කළ කැණීමක දී තව ධාතු කරඬුවක් හමු විය. එය මුලින් හමු වූ මෘදු ගල් කරඬුවට බෙහෙවින් සමාන ය. කරඬුව තුළ අස්ථි ධාතු තැන්පත් කර තිබුණි. මෙසේ කපිලවස්තු මහා ස්තූපයෙන් හමු වූ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ විශේෂ ආරක්‍ෂිත කුටියක් තුළ ඉතා ගෞරවනීය ලෙසින් තැන්පත් කර තිබේ. කෞතුකාගාරය තුළ තැන්පත් කර ඇති අස්ථි ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් තරමක් විශාල ය.

අස්ථිමය ස්වරූපය මැනවින් පෙනේ. මේ අස්ථි ධාතු බුදුරජාණන් වහන්සේගේ හිස් කබලේ අස්ථි ධාතු (skull Bone Relics) යයි විශ්වාස කෙරේ. මේ අස්ථි ධාතූන් වහන්සේලා 1978 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකාවට වැඩම කරවා ලංකාවේ නොයෙක් ප්‍රදේශවල දී මහජනයාට ප්‍රදර්ශනය කර තිබේ. කපිලවස්තු පුරයේ මේ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් අවස්ථා කිහිපයක දී දීප්තිමත් රශ්මි ධාරා විහිදුණු බව එය සියැසින් දුටු සැදැහැතියො සඳහන් කරති.

කපිලවස්තු මහා ධාතු ස්තූපයෙන් හමු වූ මෘදුගල් කරඬුවේ සටහන් කර තිබූ බ්‍රාහ්මීය අක්‍ෂර සහිතපාඨය කියවා එහි අර්ථය නිවැරදිව පැහැදිලි කර ගැනීම අවශ්‍ය විය. මේ සඳහා ඒ සමයෙහි ලක්දිව වැඩ සිටි කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණ ප්‍රතිෂ්ඨාපනය කළ බෝධිසÀව ගුණෝපේත පණ්ඩිත ශිරෝමණී, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය පරම පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්වාමීන් වහන්සේ ගේ කල්‍යාණ මිත්‍ර වූ ප්‍රවරනේරුත්තිකාචරිය මහාවිභාවී, රාජගුරු අතිපූජ්‍ය වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හිමියන් ගේ සහාය නොඅඩුව ලැබී ඇත.

කෙසේ හෝ වේවා අවසානයේ සුභූති නාහිමියන් ගේ ඉල්ලීමකට අනුව කපිලවස්තු මහා ස්තූපයෙන් හමු වූ සර්වඥ ධාතුන් වහන්සේලා ගෙන් ධාතු විසිඑක් නමක් උන් වහන්සේට ලැබී ඇත.

මේ බව ඇන්. වී. පෙප්පේ මහතා විසින් 1898 සැප්තැම්බර් මාසයේ සුභූති හිමියන්ට එවූ එක් ලිපියකින් තහවුරු වේ. ශ්‍රී සුභූති හිමියන්ට ලැබුණු එම ධාතූන් වහන්සේලාගෙන් කොටසක් වැල්ලවත්ත බෝධිරුක්ඛාරාම මහා විහාරයේ ස්තූපය තුළ ද කළුතර මහා සෑය තුළ ද සිතුල්පව්ව නව සෑය තුළ ද නිදන් කර ඇත. ඉතිරි සර්වඥධාතූන් වහන්සේලා මේ දක්වා ශ්‍රී සුභූති නාහිමියන් වැඩසිටි කළුතර වස්කඩුව ශ්‍රී අභිනවාරාම පුරාණ මහා විහාරයේ තැන්පත් කර ඇත.

කපිලවස්තු මහා ධාතු ස්තූපයෙන් හමු වූ සර්වඥ අස්ථි ධාතුන් වහන්සේලාගෙන් කොටසක් සියමේ ( තායිලන්තයේ) පි‍්‍රස්ඩෑන්ග් චුම්සායි (Prisdang Chumsai)  රාජ කුමාරයාටද ලැබුණි. කුමරු පසු කලෙක ලක්දිවට පැමිණ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි සමීපයේ පැවිදි බව ලැබීය. පැවිදි බව ලැබ ගුරුපඬුරු ලෙස තමා සතුව තිබූ ඒ කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා කිහිපනම ශ්‍රී සුභූති හිමියන්ට පරිත්‍යාග කළේය. සුභූති හිමියන් ගෙන් පසුව ඒ ධාතු කොටස වාචිස්සර හිමියන් සතු විය.

ඒ ධාතුන් වහන්සේලාගෙන් සතර නමක් ශ්‍රී නිශ්ශංක මහතාට ලැබී ඇත. එසේ ලැබුණු කපිලවස්තු ධාතු සතර නමෙන් එක් නමක් 1932 වසරේ දී ඩී. එස්. සේනානායක මහතා විසින් රමණීය බුද්ධ ප්‍රතිමාවක් තුළ තැන්පත් කරන ලදී. එම අසිරිමත් සධාතුක පිළිම වහන්සේ මේ වන විට සල්ගල ආරණ්‍ය සේනාසනයේ ගුහා විහාරය තුළ තැන්පත් කර ඇත. අනෙක් ධාතු තුන්නම ගැන දැන ගැනීමට මගක් නැත.

වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේ වැඩ සිටි කොටහේන දිපදුත්තමාරාම මහා විහාරයේ “ රතන චේතිය” නමින් ප්‍රකට මහා ස්තූපය තුළ ද කපිලවස්තුවෙන් හමු වූ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් නිධන් කර ඇත. මෙහි නිදන් කර ඇත්තේ මුලින් කී සියම් කුමරු සතුව තිබූ කපිලවස්තු සර්වඥ ධාතුන්ගෙන් කොටසකි.

කපිලවස්තු මහා ස්තූපයෙන් හමු වී තායිලන්තයට දී තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් තුන්නමක් 1899 වසරේදී ලංකාවේ සියම්, අමරපුර, රාමඤ්ඤ යන තුන් නිකායට ලැබුණි. රාමඤ්ඤ නිකායට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ගාල්ල වැලිවත්තේ විජයානන්ද පිිරිවෙන් මහා විහාරයේ ස්තූපය තුළ තැන්පත් කර ඇත.

පසු කලෙක නැවත වරක් ලක්දිවට ලැබුණු කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලාගෙන් කොටසක් කැලණිය, බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරයේ ස්තූපය තුළ තැන්පත් කර ඇත.

1978 වසරේ දී ප්‍රථම වතාවට ලක්දිවට වැඩම කර වූ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මේ කපිලවස්තු ධාතුන් වහන්සේලා මේ මස 19 වැනි දින පෙරවරුවේ දෙවැනි වතාවට ලක්දිවට වැඩම කර වූහ. මෙය ලක්වැසි සියලු සැදැහැතියන්ගේ මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයට හේතු විය.

එසේ ලක්දිවට වැඩම කර වු කපිලවස්තු පුර සර්වඥධාතුන් වහන්සේලා ලක්දිව විහාරස්ථාන කිහිපයකදී සැදැහැතියන්ට සියැසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි විය.

 ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැතියෝ කපිලවස්තු පුර සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කළහ. ලක්වැසියන් වන අප සැමට ඉතා දුර්ලභ වූ මේ අවස්ථාව හිමි වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිසා ය. එතුමා මීට වසර කිහිපයකට ඉහත දී ඉන්දියාවේ අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ( සතර නමක්) දින කිහිපයකට පමණක් ප්‍රදර්ශනය කිරීම සඳහා ලක්දිවට ලබා දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කිරීම ලක්වැසියන් වන අප සැමට ශුභාරංචියකි.

සියලු සත්ත්වයෝ දේවාතිදේව වූ අප සර්වඥයන් වහන්සේගේ උතුම් වූ ශාරීරික ධාතු සියැසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගෙන දෙව්මිනිස් සැප සම්පත් ළඟාකර ගනිත්වා ! උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගෙන මේ ඝෝර භයංකාර සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා !

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා