ෂැංහායි සෙවන්ස් පළඟ ශූරතාව ශ්‍රී ලංකා පිල දිනා ගනී

ෂැංහායි සෙවන්ස් පළඟ ශූරතාව ශ්‍රී ලංකා පිල දිනා ගනී

නායක ෆසීල් මරිජා ඇතුලු ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිල ඊයේ චීනයේ පැවැති ෂැංහායි සෙවන්ස් රගර් තරගාවලියේ දී තායිලන්තය ලකුණු 22-7කින් පරදවා පළඟ ශූරතාව අත්කර ගත්තේය.

තරගාවලියේ 5වැනි ස්ථානය ලබාගැනීම සඳහා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ශ්‍රී ලංකාව ලකුණු 17-7 ක් ලෙස පෙරමුණේ පසුවිය. ශ්‍රීනාත් සූරියබණ්ඩාර මේ තරග‍යේ දී උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර නායක මරිජා සහ දිනූෂ චතුරංග උත්සාහක දිනුම බැගින් රැස් කළේය. උත්සාහක දිනුමක් ගෝලයක් බවට හරවාගැනීමට නායක මරිජා සමත්විය.

තරගාවලියේ අවසන් දිනය වූ ඊ‍යේ සිය පළමු තරගයේ දී සිංගප්පූරුවට එරෙහිව ලකුණු 41-0ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. පළමු භාගය නිමාවනවිට ශ්‍රී ලංකාව ලකුණු 17-0කින් ඉදිරියෙන් පසුවිය. සාලිය හඳපාන්ගොඩ සහ චූල සුසන්ත උත්සාහක දිනුම් 2බැගින් එල්ල කළ අතර නායක මරි‍ජා, සූරියබණ්ඩාර සහ විශ්වමිත්‍ර ජයසිංහ එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ.

ශ්‍රී ලංකාව පළඟ ශූරතා අවසන් තරගයට පිවිසියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 43-0ක දැවැන්ත ජයක් වාර්තා කිරී‍‍මේ හේතුවෙනි. එම තරගයේ දි සාර්ථක දස්කම් දැක්වූ නායක මරිජා සහ සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 2බැගින් වාර්තා කළ අතර දිනූෂ චතුරංග, චුල සුසන්ත සහ විශ්වමිත්‍ර උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. තරගයේ පළමු භාගය නිමාවනවිට ශ්‍රී ලංකාව ලකුණු 17-0කින් පෙරමුණේ පසුවිය.

තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා ශ්‍රී ලංකාව ලකුණු 17-12ක් ලෙස දකුණු කොරියාවටත්, ලකුණු 36-7කින් හොං‍කොං පිලටත් පරාජය විය.

ආසියානු රගර් කණ්ඩායම් ‍ශ්‍රේණිගත කරන එච්.එස්.බී.සී. රගර් තරගාවලි ත්‍රිත්වයේ දෙවැනි තරගාවලිය ලෙස ෂැංහායි සෙවන්ස් රගර් තරගාවලිය පැවැති අතර ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා