තරගාවලියට එක් නොවන පාසල් පහකට විනය පරීක්ෂණ

තරගාවලියට එක් නොවන පාසල් පහකට විනය පරීක්ෂණ

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියට සහභාගි නොවන ප්‍රධානතම විදුහල් 5කට එරෙහිව විනය පරික්ෂණ පවත්වන බව පාසල් රගර් සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය‍.

මෙවර ජනාධිපති කුසලාන තරගාවලියට සාන්ත පීතර,කොළඹ රාජකීය විදුහල සහ සාන්ත ජෝශප් විදුහල ද, අගමැති කුසලාන තරගාවලියට තර්ස්ටන් සහ ගල්කිස්සේ සාන්ත ‍තෝමස් විදුහල ද සහභාගිවිය යුතුව තිබිණි. නමුත් ඉහත සඳහන් විදුහල් තම සහභාගිත්වය ප්‍රතික්ෂේප කර ඇතැයි තරගාවලිය සම්බන්ධව පසුගියදා සී.ආර්. ක්‍රීඩා සමාජයේ පැවැති මාධ්‍ය හමුවේ දී පාසල් රගර් සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.

ලීග් තරගාවලියෙන් පසුව පාසල් පුහුණුකරුවන් නොමැතිවීමත්, අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩකයන් විවිධ ආබාධවලට ගොදුරුවීමත් හේතුවෙන් මේ වනවිට ඉහත කී බොහෝ පාසල්වල රගර් ක්‍රීඩාව අක්‍රිය වී ඇතිබවට කරුණු අනාවරණය වී ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.‍

කෙසේවුවත් රගර් නීතිරීති අනුව මේ තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමට හේතු විනය කමිටුව හමුවේ ඉදිරිපත් කිරීමට ඉහත කී පාසල්වලට සිදුවනු ඇත. මේ අනුව ඉසිපතන සහ ත්‍රිත්ව විදුහල් නිතරගයෙන් ජනාධිපති කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර මහනාම සහ සාන්ත සිල්වෙස්තර විදුහල් අගමැති කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට නිතරගයෙන් සුදුසුකම් ලබාගත්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා