ජනාධිපති කුසලාන පාසල් රගර් තරගාවලිය 26දා ඇරැඹේ

ජනාධිපති කුසලාන පාසල් රගර් තරගාවලිය 26දා ඇරැඹේ

පාසල් රගර් සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලිය මේ මස 26වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භවේ. පසුගියදා නිමාවූ සිංගර් අන්තර් පාසල් ලීග් රගර් තරගාවලියේ අවසන් ප්‍රතිඵල සටහනේ 'ඒ'කාණ්ඩයේ කණ්ඩායම් සමග 'බී' සහ 'සී' කාණ්ඩවල ශූරතා සහ අනුශුරතා දිනූ කණ්ඩායම් තරග වදින මේ තරගාවලියට සහභාගි වෙති.

ලීග් තරගාවලියේ 'බී' සහ 'සී'කාණ්ඩවල කණ්ඩායම්වලටත්, දෙවැනි කොටසේ 'ඒ' කාණ්ඩයේ ශූරතා දිනූ කණ්ඩායම්වලටත් තරග කිරීමට අවස්ථාව උදාකරමින් ජනාධිපති කුසලානයට සමගාමීව 2007වසරේ සිට අගමැති කුසලාන තරගාවලියත්, 2008වසරේ සිට සභාපති කුසලාන තරගාවලියත් ආරම්භ කෙරිණි.

ඉසිපතන, සාන්ත අන්තෝනි, ධර්මරාජ, වෙස්ලි, කිංග්ස්වුඩ් සහ ත්‍රිත්ව විදුහල් ජනාධිපති කුසලාන තරගාවලියට සහභාගි වන අතර මහනාම, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර, වේල්ස්කුමර, නාලන්ද, ආනන්ද සහ සාන්ත සිල්වෙස්තර විදුහල් අගමැති කුසලාන තරගාවලියට සහභාගි වෙති. සභාපති කුසලාන තරගාවලියට සාන්ත බෙනඩික්ට්, ලලිත් ඇතුලත්මුදලි, කුරුණෑගල මලියදේව සහ සාන්ත ආනා, නුගේගොඩ සාන්ත ‍ජෝන්, මාතලේ සාන්ත තෝමස්, පානදුර රාජකීය සහ පිලියන්දල මැදි විදුහල සහභාගි වෙති.

1995 වසරේ දී ආරම්භ වූ ජනාධිපති කුසලාන රගර් තරගාවලියේ ශූරතා 5ක් දිනාගනිමින් වැඩිම වාර ගණනක් ශූරතාව දිනූ කණ්ඩායම බවට පත්වීමට සාන්ත පීතර විදුහල සමත්වී තිබේ. ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඩ් විදුහල ශූරතා 4බැගින් ජයගෙන ඇත. පසුගිය වසරේ දී ත්‍රිත්ව විදුහල් පිල ජනාධිපති කුසලානය දිනාගත් අතර ඉසිපතන විදුහල් පිල අනුශූරයන් විය.

නෙස්ලේ සමාගමේ 'මයිලෝ' අනුග්‍රහයෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන රගර් තරගාවලියේ සියලු තරග රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන අතර අගමැති කුසලාන සහ සභාපති කුසලාන තරගාවලි රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැත්වීමට නියමිතය. ජනාධිපති කුසලාන අර්ධ අවසන් වටයේ තරග 26වැනිදා සිට පැවත්වෙන අතර අවසන් පූර්ව තරග ලබන මස 5 සහ 6වැනිදාත්, අවසන් මහා තරගය 13වැනිදාත් පැවැත්වේ. අගමැති කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන මස 2වැනිදා සිට පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග 8 සහ 9වැනිදාත්, අවසන් මහා තරගය 16වැනිදාත් පැවැත‍්වේ. සභාපති කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වන්නේ ලබන මස 1වැනිදාය. එහි අවසන් පූර්ව වටය 8 සහ 9වැනිදාත්, අවසන් මහා තරගය 16වැනිදාත් පැවැත්වේ.

ජනාධිපති කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට මහනුවර විදුහල් 2ක් සුදුසුකම් ලබන්නේනම් පමණක් එම තරගය මහනුවර දී පැවැත්වීමට තීරණය වී ඇත. නමුත් අවසන් මහා තරගය රාජකීය විදුහල් පිටියේදීම පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා