උඩවාඩිය පුරාණ ගම්මානයට තවමත් නිසි මාර්ගයක් නෑ

උඩවාඩිය පුරාණ ගම්මානයට තවමත් නිසි මාර්ගයක් නෑ

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹගහවෙල වසමට අයත් උඩවාඩිය අති දුෂ්කර ගමකි. පවුල් දෙසීයකට අධික ප්‍රමාණයක් එහි ජීවත් වන අතර ‘අන්නාසි කඳුර’ ආරට මායිම්ව එහි කොටසක් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ. කෙසේ වුවද ගම්වැසියන් එදිනෙදා අවශ්‍යතා සඳහා පැමිණෙනුයේ වැල්ලවාය නගරයටය. ජලයෙන් අනූන සරුබිම උපයෝගී කොට විවිධ බෝග වර්ග වගා කර දිවි සරු කර ගත් උඩවාඩිය වැසියන් මුහුණ දෙන ලොකුම ගැටලුව මාර්ග අපහසුවයි. පස්සර බුත්තල මාර්ගයේ හිඟුරුකඩුව සිට විශාල කන්දක් (කි. මීටර අටක් පමණ) තරණය කොට ගමට යා යුතුය. උඩවාඩියට ගිය අපට ගම්වැසි කීප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.

ආර්. ඩී. ගුණසේන මහතා (40) අපේ ගමේ මූලාරම්භය රන්දෙණිවෙල සටන දක්වා දිව යනවා. එදා ඒ ජයග්‍රාහී සටනේදී සිංහල හමුදාව වාඩිගහගෙන සිටියේ මේ කොටසේ. යුද්ධයෙන් පසුව ඇතැම් අය මෙහිම පදිංචි වීමත් සමග ජනාවාස වුණා. අද පවුල් 150 ක් පමණ සිටිනවා. මොනරාගල දිස්ත්‍රික්කයට අයත් උඩකුඹුර පමණක් පවුල් 63ක් ඉන්නවා. අපේ ගම සරු පසකින් යුක්තයි. විවිධ වගාවන් පහසුවෙන් කළ හැකියි. මේ නියං කාලයේ වුවද ජල හිඟයක් අපට නෑ. අපි මුහුණ දෙන ලොකුම ගැටලුව මාර්ග අපහසුවයි.

ආර්. ඩී. උපදාස මහතා (54) - ගමේ සියයට සියයක්ම ගොවිතැන් කරන්නේ කුඹුරු දෙල් කොස් කොකෝවා දෙහි දොඩම් හා එළවළු වගා කරනවා. රඹුටන් පවා හොඳීන් වැඩෙනවා. ගමට පාරක් නෑ. කි. මීටර අටක් පමණ ශීඝ්‍ර කන්දක් නැගලයි ගමට එන්නේ. හිඟුරුකඩුව සිට සුළු ප්‍රමාණයක් පාර කොන්ක්‍රීට් කර තිබෙනවා. පවතින මාර්ග අපහසුව දැනෙන්නේ ලෙඩෙක් වූ විටයි. දෝලාවක් මගින් ප්‍රධාන පාරට ලෙඩුන් ගේන්නේ. ඒ ඔසවා ගෙන එන අතරතුර රෝගීන් මිය ගිය අවස්ථාද තියෙනවා. අපේ එකම ඉල්ලීම අපට මාර්ග පහසුව සලසා දෙන ලෙසයි.

රොෂාන් නානායක්කාර මහතා - මාර්ග අපහසුව පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණෙනවා. පාන්දර පහට පමණ ඔවුන් පාසල් යන්න පටන් ගන්නේ. පාසල ඇරී හිඟුරුකඩුව සිට ගෙවල්වලට එන විට හවස හතර පමණ වෙනවා. ඇතැම් අවස්ථාවලදී දරුවන් මගදී අසනීප වූ අවස්ථාද තියෙනවා. මාර්ග අපහසුව නිසා අපේ කෘෂි නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන යන්නේ තවලම් වලින් හා කර බරින්. වසර ගණනාවක සිට ගමේ කුඩා විදුලි බලාගාරයකින් යන්තම් එළිය දකිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා