අයියලාගේ ගෙදර හිටිය බල්ලා සැමියාගේ කකුල හැපුවා මාස පහකට පස්සේ ඔහු ජලභීතිකාවෙන් මිය ගියා

“අයියලාගේ ගෙදර හිටිය බල්ලා සැමියාගේ කකුල හැපුවා මාස පහකට පස්සේ ඔහු ජලභීතිකාවෙන් මිය ගියා”

සැමියා හුළං වදිනකොට බියක් දැක්වූවා. කැස්ස ආවට ඔහුට කහින්න බැරිව ගියා. ඒ සමඟම ඔහුගේ කටින් සෙම එන්ට පටන් ගත්තා.

මීට මාස පහකට පමණ පෙර අයියලාගේ ගෙදර සිටි බල්ලා සැමියාගේ කකුල හැපුවා යැයි ජලභීතිකා රෝගයෙන් මියගිය පුද්ගලයකු සම්බන්ධයෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ පැවති හදිසි මරණ පරීක්‍ෂණයකදී මියගිය අයගේ බිරිය වන මධුවන්ති දුලංජලි කරුණාරත්න මහත්මිය පැවසුවාය.

මෙසේ මියගොස් ඇත්තේ තලකිරියාගම ගල්වැටියාගම පදිංචි 21 හැවිරිදි ඒ. ජී. සිසිර සම්පත් කුමාර නැමැත්තෙකි. මේ සම්බන්ධයෙන් දඹුල්ල වැඩබලන හදිසි මරණ පරීක්‍ෂක එච්. එම්. ටී. බී. කොස්වත්ත මහතා විසින් හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්විණි.

මෙහිදී සාක්කි දෙමින් මෙසේ ද කීය.

මීට පෙර අයියාගේ ගෙදර දී එහි සිටි බලු පැටියා විසින් සැමියා සහ තාත්තා සපා කෑවා. එවිට සැමියා ඔහුගේ සෙරෙප්පුවෙන් බල්ලට ගහන විට ඌ නහයෙන් ලේ හලාගෙන වැටුණා. එවිට අපි බල්ලට වතුර ඉස්සට පස්සෙ ඌ දින දෙකක් ජීවත්වී මිය ගියා.

මෙසේ බල්ලා මියගියත් කිසිවෙක් ප්‍රතිකාර සඳහා රෝහලට ගියේ නෑ. අපි සිතුවේ බල්ලට ගහපු හින්ද මියගිය බවයි.

නමුත් පසුගියදා සැමියාගේ හැසිරීම වෙනස් වුණා. ඔහු හුළඟ වදිනවාට හරි බියකින් හිටියා. කහින්ට උත්සහ කළත් කහින්ට බැරිව ගියා. ඔහුගේ කටින් සෙම බිංදු බිංදු සුදු පාටට ගියා.

මේ නිසා එදා රාත්‍රී 9 ට පමණ අපි සැමියා දඹුල්ල රෝහලට ගෙනා පසු 29 වන දින සවස් වරුවේ ඔහු මිය ගියා.

මේ සම්බන්ධයෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන් මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මෙය ජලභීතිකා රෝගය වැළඳීම නිසා සිදුව ඇති මරණයක් බව නිගමනය කළේය.

අනතුරුව සියලු සාක්‍ෂි සටහන් කර ගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙම මරණය ජලභීතිකා රෝගය වැළඳීම නිසා සිදුවූවක් බවට නිගමනය කළ හැකි නමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණය සඳහා මෙහි අවශ්‍ය කොටස් කොළඹ ජලභීතිකා පරීක්‍ෂණ ඒකකය වෙත යොමුකරන ලෙස නියෝග කරමින් මේ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

ගලේවෙල පොලිසියේ පො. කො. (27535) ධර්මසේන මහතා විසින් මෙහි සාක්‍ෂි මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා