දෝෂාභියෝගය සම්මතයි

දෝෂාභියෝගය සම්මතයි

* පක්ෂව ඡන්ද 155යි * විපක්ෂව 49යි * වැඩි ඡන්ද 106යි

* ශ්‍රීලනිප, ජානිපෙ, ජා.හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය පක්ෂව ඡන්දය දෙති

* එජාපය දෙමළ ජාතික සන්ධානය විරුද්ධව ඡන්දය දෙති

* ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විවාදය මඟ හරියි

අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ දෝෂාභියෝග විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේදී ඊයේ (11) වැඩි ඡන්ද 106ක් සහිතව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.

ඒ අනුව දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 155 ක්ද, විපක්ෂව ඡන්ද 49 ක්ද හිමි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සංධානය විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය විවාදය සඳහා සහභාගී නොවූහ. ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්වන ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, චන්ද්‍රසිරි ගජධීර, මන්ත්‍රී රජිව විජේසිංහ මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත.

දෝෂාභියෝග යෝජනාව මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ අත්සනින් යුතුව කතානායකවරයාට පසුගිය නොවැම්බර් 1 වැනිදා

ඉදිරිපත් කළ අතර, නොවැම්බර් 6 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 7ක් හා විපක්ෂයේ මන්ත්‍රීවරු 4 දෙනකුගේ සංයුතියකින් යුතු විශේෂ තේරීම් කාරක සභාවක් කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදි. ඒ අනුව දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි.

විමර්ශන වාර්තාව දෙසැම්බර් 8 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව මසකින් පසුව ජනවාරි 10 හා 11 දෙදින තුළ දෝෂාභියෝග විමර්ශන වාර්තාව පිළිබඳව විවාදය පැවැත්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා