ප්‍රථම එක්දින තරගයෙන් කැන්ගරුවන්ට පහසු ජයක්

ශ්‍රී ලංකාවේ ප්‍රබල පිතිකරුවන් දුවද්දී දැවෙද්දී

ප්‍රථම එක්දින තරගයෙන් කැන්ගරුවන්ට පහසු ජයක්

ෆිල් හියුස්

ඔස්ට්‍රේලියානු දෙවැනි පෙළ කණ්ඩායමක් ලෙසින් එරට මාධ්‍ය විසින් හඳුන්වනු ලැබූ ජෝර්ජ් බේලිගේ කණ්ඩායම ‘තරගයේ වීරයා’ මෙන්ම මංගල ජාත්‍යන්තර එක්දින තරගයක ශතකයක් ලබා ගත් ප්‍රථම ඔස්ට්‍රේලියානු ජාතිකයා බවටද පත්වූ ෆිල් හියුස් ගේ මාර්ගයෙන් ඊයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලකුණු 107කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.

දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගමාලාවේ මේ පළමු තරගයේදී ලකුණු 306ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ සියළුම ක්‍රීඩකයෝ තරගයේ තවත් ඕවර 10ක් ඉතිරිව තිබියදී ලකුණු 198කට දැවී ගියහ.

මේ දැවැන්ත ඉලක්කය පසුපස යද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුම දුවද්දී දැවී ගිය අතර මේ සියළු දෙනාම ප්‍රබල පිතිකරුවෝ වූහ. ඔස්ට්‍රේලියානුවන්ට ඊයේ මේ පහසු ජයග්‍රහණය හිමිවූයේ විශේෂයෙන්ම ඔවුන්ගේ මේ පන්දු රැකීමේ දක්ෂතාවෙනි. ඊට අමතරව ක්‍රීඩාවේ සෑම අංශයකින්ම ශ්‍රී ලංකාව අභිබවා යාමට කැන්ගරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉණිමේ විශිෂ්ටයා වූයේ දිනේෂ් චන්දිමාල් ය. ක්ලින්ට් මැකේගේ පන්දුවට කඩුලු රකින බ්‍රැඩ් හැඩින් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී යාමට පෙර චන්දිමාල් පන්දු 95කින් ලකුණු 73ක් රැස් කළේය. හතරේ පහර 7ක් හා හයේ පහරකින් ඔහුගේ ඉනිම වර්ණවත් වී තිබිණි.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ඔස්ට්‍රේලියාව ට සාර්ථක ආරම්භයක් ලබා දීමට ෆින්ච් හා හියුස් සමත් වූහ. 11 වැනි ඕවරය තෙක් කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ මේ ආරම්භක පිතිකරු යුගළය ලකුණු 53ක් රැස් කළ අතර ඕවරයේ පස්වැනි පන්දුවේ දෙදෙනාගෙන් පළමුව දැවී ගියේ ෆින්ච්ය.

වසරකට පසුව නැවත එක්දින ක්‍රිකට් පිටියට පිවිසි අජන්ත මෙන්ඩිස් ඔහුගේ පළමු ඕවරයේ ම කඩුල්ලක් ලබා ගත්තේ ෆින්ච් දවාලමිනි. ඔහුගේ පිත්තේ අග ගෑවී ආ උඩ පන්දුව කඩුලු රකින දිනේෂ් චන්දිමාල් රැක ගත්තේය. ෆින්ච් පන්දු 28කින් ලකුණු 16ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ දෙවැනි කඩුල්ල අහිමි වූයේ ජීවන් මෙන්ඩිස්ගේ අති දක්ෂ පන්දු රැකීමකිණි. දැවී ගියේ උස්මාන් කවාජා (3) ය. තිලකරත්න ඩිල්ෂාන් යැවූ තරගයේ 16 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ‘ෂෝට් මිඩ් විකට්’ කලාපයට පහරක් එල්ල කළ කවාජා ලකුණක් කරා දුව යාම ආරම්භ කර නැවත හැරුණේය.

ඔස්ට්‍රේලියාව
 

ඒ.ෆින්ච් ඇ.චන්දිමාල් ප.මෙන්ඩිස් 16
පි‍.හියුස් ඇ.චන්දිමාල් ප‍.මාලිංග 112
යු.කවාජා දුවද්දී දැවී ගියා (ජීවන්) 3
ජෙ.බේලි ඇ.ජීවන් ප.මැතිව්ස් 89
ඩි‍.හසී නොදැවී 60
ජී.මැක්ස්වෙල් ඇ.මෙන්ඩිස් ප.කුලසේකර 5
බි.හැඩින් නොදැවී 10

අතිරේක 10
එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 50) 305

කඩුලු බිඳ වැටීම: 1-53, 2-72, 3-212, 4-241, 5-248
පන්දු යැවීම: කුලසේකර 10-0-53-1, මාලිංග 10-1-61-1, මැතිව්ස් 8-0-46-1,එ‍‍.මෙන්ඩිස් 10-0-62-1, ඩිල්ෂාන් 4-0-17-0, පෙරේරා 4-0-28-0, ජෙ.මෙන්ඩිස් 4-0-33-0

 

ශ්‍රී ලංකාව
 

යු.තරංග ඇ.හැඩින් ප.ස්ටාක් 1
ටි.එම්.ඩිල්ෂාන් දුවද්දී දැවී ගියා (කවාජා) 51
එම්.ජයවර්ධන ඇ.‍ෆින්ච් ප.මැකේ 5
ඩි.චන්දිමාල් ඇ.හැඩින් ප.මැකේ 73
ඒ‍.මැතිව්ස් දුවද්දී දැවී ගියා (මැක්ස්වෙල්) 12
එල්.තිරිමාන්න දුවද්දී දැවී ගියා (මැක්ස්වෙල්) 0
ජෙ.මෙන්ඩිස් ඇ.බේලි ප.ජොන්සන් 20
ටි.පෙරේරා ඇ.බේලි ප.ජොන්සන් 4
එන්.කුලසේකර ඇ.බේලි ප.මැකේ 18
එල්.මාලිංග නොදැවී 1
එ‍.මෙන්ඩිස් ඇ.හැඩින් ප.මැකේ 0

අතිරේක 13

එකතුව සියල්ලන් දැවී (ඕවර 40) 198

කඩුලු බිඳ වැටීම: 1-8, 2-17, 3-111, 4-128, 5-128, 6-167, 7-169, 8-194, 9-198
පන්දු යැවීම: ස්ටාක් 6-0-25-1, මැකේ 8-0-33-4, ජොන්සන් 9-1-43-2, ඩොහර්ටි 8-0-41-0,
මැක්ස්වෙල් 4-0-28-0, හසී 5-0-24-0

මෙන්ඩිස් පන්දුව රැගෙන ගුවනේ පාවෙමින් අත යටින් පන්දුව කඩුලු රකින්නා වෙත එවීය. චන්දිමාල් පන්දුව අල්ලා ගෙන කඩුල්ල බිඳ දැමීය. කවාජා පෙරළා ඔහුගේ සීමාවට රූටද්දී ඔහු එක් වැරැද්දක් කළේය. ඒ පිත්තේ මූණත බිම ස්පර්ශ කරගෙන නොසිටීම ය. දෙවැනි කඩුල්ල මෙසේ බිඳ වැටෙන විට මුළු ලකුණු ප්‍රමාණය 72ක් විය.

ඔස්ට්‍රේලියා මුළු ලකුණු සියය ඕවර 22කදී වාර්තා වූ අතර ඉනිමේ හරි අඩක් නිමා වන විට ඔවුන් කඩුලු 2කට ලකුණු 119ක් රැස්කර ගෙන සිටියේය.

ඔස්ට්‍රේලියා ඉනිම ඔසවා තැබූ අගනා සබඳතාව වාර්තා වූයේ තෙවැනි කඩුල්ල වෙනුවෙනි. පන්දුවකට ලකුණක් බැගින් වන පරිද්දෙන් ඕවර 23.2ක්දී ලකුණු 140ක එම සබඳතාව ගොඩනැගුවේ හියුස් හා නායක ජෝර්ජ් බේලි ය. මුළු ලකුණු 212 දී හියුස් දැවී යන විට ඔහු ලකුණු 112ක් රැස්කර ගෙන සිටියේය. ඒ පන්දු 129කිනි. හතරේ පහර 14කින් හියුස් ගේ වාර්තාගත ඉනිම හැඩගැන්වී තිබිණි.

39 වැනි ඕවරයේදී ලසිත් මාලිංග ගේ පන්දුවට මේ වමත් පිතිකරුවා ‘මිඩ් විකට්’ ස්ථානයට ඉහලින් යන සේ හරවා පහරක් එල්ල කිරීමට යාමේදී ඔහුගේ පිත්තේ වැදී ආ උඩ පන්දුව කඩුලු රකින චන්දිමාල් ඉදිරියට වැටෙමින් අල්ලා ගත්තේය. දැවී යාමට පෙර හියුස් එම ඕවරයේදී මාලිංග ට පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළේය.

ඔස්ට්‍රේලියා ‘බැටිං ප්ලේ’ ක්‍රීඩාවේ බිඳ වැටුනු එකම කඩුල්ල එය විය. ඒ, ලකුණු 37කටය. ඕවර 36 සිට 40 දක්වා වූ එම ක්‍රීඩාවේ හියුස් දැවී ගියේ 39 වැනි ඕවරය අවසානයේය. බේලි සහ ඩේවිඩ් හසී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22කින් ලකුණු 29ක් එක් කරමින් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් විසින් එම සබඳතාව අවසන් කරන ලදී.

43 වැනි ඕවරයේදී මැතිව්ස් ගේ පන්දුවට හසී දුන් උඩ පන්දුව ‘ඩීප් මිඩ් විකට්’ හි සිට ජිවන් මෙන්ඩිස් රැක ගැනීමෙන් බේලි මුළු ලකුණු 241 දී දැවී ගියේය. ආක්‍රමණශීලී පිතිහරඹයක නියැළුනු නායක බේලි හතරේ පහර 8ක් හා හයේ පහරක් එල්ල කරමින් පන්දු 79කින් ලකුණු 89ක් ලබා ගත්තේය.

ඊළඟ ඕවරයේ අවසන් පන්දුවේ ලකුණු පුවරුවේ මුළු ලකුණු 248ක් සටහන්ව තිබියදී ග්ලෙන් මැක්ස්වල් (5) දැවී ගියේය. නුවන් කුලසේකර ගේ පන්දුවට මැක්ස්වල් දුන් උඩ පන්දුව ‘මිඩ් විකට්’ ස්ථානයේ සිට දිව යමින් අජන්ත මෙන්ඩිස් රැක ගැනීමත් සමග ඔස්ට්‍රේලියා 5 වැනි කඩුල්ල බිඳ වැටිනි.

ඉන්පසුව පිටියේ එක්වූ ඩේවිඩ් හසී සහ බ්‍රැඩ් හැඩින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 57ක් වාර්තා කළහ. 48 වැනි ඕවරයේදී හසී, කුලසේකර ගේ පන්දුවලට පිට පිට හතරේ පහර 2ක් එල්ල කළේය. 50 වැනි අවසාන ඕවරයේදී හසී, අජන්ත මෙන්ඩිස් ට පිට පිට හතරේ හා හයේ පහරක්ද, අවසන් පන්දුවට හතරේ පහරක්ද එල්ල කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 305 දක්වා ඉහළට ගෙන ආවේය.

සීමිත ඕවර 50 අවසන් වන විට හසී හතරේ පහර 6ක් හා හයේ පහරක් සමග පන්දු 34කින් නොදැවී ලකුණු 60ක් රැස්කර ගෙන සිටියේය. හැඩින් නොදැවී 10 යි.

ඔස්ට්‍රේලියානුවන් වෙතින් වැඩියෙන්ම බැට කෑවේ අජන්ත මෙන්ඩිස් ය. ඔහු එක් කඩුල්ලක් ලබා ගත්තේ ලකුණු 62ක් ලබා දෙමිනි. මාලිංග ගෙන් ලකුණු 61ක් උදුරා ගැනිණි. ඔහු, කුලසේකර හා මැතිව්ස් ද කඩුල්ලක් බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිමේ තෙවැනි ඕවරය අවසානයේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටිණි. උපුල් තරංග (1) දැවී යන විට මුළු ලකුණු ප්‍රමාණය වූයේ 8ක් පමණි. මිචල් ස්ටාක් ගේ පන්දුවට කඩුලු රකින බ්‍රැඩ් හැඩින් අතට උඩ පන්දුවක් ලබා දෙමින් තරංග දැවී ගියේය.

නායක මහේල ජයවර්ධන ඊයේ රැස් කළේ ලකුණු 5ක් පමණි. ක්ලින්ට් මැකේ ගේ පන්දුවට පළමු ‘ස්ලිප්’ හි ඒරන් ෆින්ච් වෙත උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 17 දී මහේල දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන විට යැවෙමින් තිබුනේ 6 වැනි ඕවරයය.

අනතුරුව කඩුල්ලේ එක්වූ තිලකරත්න ඩිල්ෂාන් හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව වැටී සිටි අසීරු තත්ත්වය තේරුම් ගෙන ක්‍රීඩා කරමින් කෙමෙන් කෙමෙන් මුළු ලකුණු ප්‍රමාණය ඉහළ නංවන්නට වූහ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 25 අවසන් වන විට ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 111ක් රැස්කර ගෙන සිටියහ. ප්‍රතිවාදී පිල මේ තත්ත්වයේදී කඩුලු 2කට ලකුණු 119ක් ලබා ගෙන සිටියේය. වෙනස ලකුණු 8ක් පමණි. එහෙත් ඉන්පසුව දිස්වූයේ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමකි. 26 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඩිල්ෂාන් දුවද්දී දැවී ගියේය.

මිචල් ජොන්සන්ගේ පන්දුවට ‘මිඩ් ඕෆ්’ කලාපයට පහරක් එල්ල කළ ඩිල්ෂාන් ලකුණක් කරා දුවද්දී උස්මාන් කවාජා පන්දුව රැගෙන කෙළින්ම පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල වෙත වීසි කළේය. හතරේ පහර 4ක් එල්ල කළ ඩිල්ෂාන් පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 51ක් වාර්තා කළේය. ඩිල්ෂාන් හා චන්දිමාල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 19.5ක් ඇතුළත ලකුණු 94ක සබඳතාවක් පිහිටුවූහ.

ඉක්බිති, චන්දිමාල් බලා සිටියදී තවත් කඩුලු තුනක් බිඳ වැටිනි. මින් පිට පිට කඩුලු දෙකක් ම ශ්‍රී ලංකාවට අහිමි වූයේ දුවද්දී දැවී යාම්වලිනි. මුළු ලකුණු සංඛ්‍යාව 128ක්ව තිබියදී ඩොහර්ටි යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 30 වැනි ඕවරයේ දෙවැනි හා තෙවැනි පන්දුවලදී පිළිවෙලින් ඇන්ජලෝ මැතිව්ස් හා ලහිරු තිරිමාන්න දුවද්දී දැවී ගියහ. ඊට ඕවර පහකට පසුව ජීවන් මෙන්ඩිස් දැවී ගියේය.

මැතිව්ස් හා තිරිමාන්න යන දෙදෙනාම දුවද්දී දවාලූවේ ‘කවර්ස්’ හි පන්දු රකිමින් සිටි මැක්ස්වල් ය. ලකුණු 12ක් ලබා ගෙන සිටි මැතිව්ස් දැවී ගියේ මැක්ස්වල් විසින් පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එල්ල කිරීමෙනි. චන්දිමාල් ලකුණක් කරා දුව යද්දී මැක්ස්වල් පිතිකරුවාගේ අන්තයට එවූ පන්දුව අල්ලා ගත් කඩුලු රකින හැඩින් කඩුල්ල බිඳ දැමීමෙන් තිරිමාන්න එක ම පන්දුවකට හෝ මුහුණ දීමට අවස්ථාවක් නොලැබ දැවී ගියේය.

ජොන්සන් ගේ පන්දුවට ජීවන් මෙන්ඩිස් ‘මිඩ් ඕෆ්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි බේලි අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී යාමට පෙර ඔහු සහ චන්දිමාල් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් රැස් කළහ.

35 වැනි ඕවරය අවසානයේ ශ්‍රී ලංකාව ‘බැටිං පවර් ප්ලේ’ අවස්ථාව ලබා ගන්නා විට ඔවුන්ගේ කඩුලු 6ක් ලකුණු 167කට බිඳ වැටී තිබිණි. 40 වැනි ඕවරයේ ‘බැටිං පවර් ප්ලේ’ ක්‍රීඩාව අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම ද ලකුණු 198කට අවසන් විය.

ක්ලින්ට් මැකේ ලකුණු 33කට කඩුලු 4ක් ලබා ගත් අතර මිචල් ජොන්සන් ලකුණු 43කට කඩුලු 2ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ පළමු තරගය වූ හොබාට් හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉළ ඇටයේ ආබාධයකට ලක්ව තරග බිමෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන නුවන් කුලසේකර ඊයේ යළි ශ්‍රී ලංකා කණ්ඩායම ට එක්ව සිටියේය. දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් වසරකට පසුව ඊයේ යළිත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමට පිවිසියේය.

ෆිලිප් හියුස්, ඒරන් ෆින්ච් හා උස්මාන් කවාජා යන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඊයේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් ලැබූහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා