අධිකරණය අද දේශපාලන වේදිකාවක් වෙලා

අධිකරණය අද දේශපාලන වේදිකාවක් වෙලා

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයන්ගෙන් චෝදනා

එදා ජනතා විමුක්ති පෙරමුණ රටේ භීෂණයක් ඇති කරමින් තුණ්ඩු කැබැල්ලකින් අධිකරණයේ කටයුතු අත්හිටුවීමට ක්‍රියා කළාක් මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥවරුන් පිරිසක් අද ක්‍රියා කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු පෙන්වා දෙති.

මේ දිනවල උපරිමාධිකරණය නිවාඩු ය. එහෙත් බංකොලොත් දේ්ශපාලන ව්‍යාපාරයක නිරත නීතිඥ පිරිසක් උසාවි වැඩ වර්ජනයක නියැළෙන බවට රටට ව්‍යාජයක් මවා පෙන්වමින් සිටිතැයි ද ඔවුහු චෝදනා කරති.

අධිකරණ රාජකාරිවල නිරතවීමට සුපුරුදු පරිදි අධිකරණය වෙත පැමිණිය ද රට අරාජික කරන ඩයස්පෝරාවේ නීතිඥ මහත්වරුන්ගේ බලපෑම් මත අධිකරණ කටයුතු අඩාල වූ බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු මෙහිදී පෙන්වා දෙති.

මෙය අතළොස්සකගේ උවමනා එපාකම් සඳහා මුළු රටම පාවාදීමක් බව පැවසූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා අධිකරණය මුල් කර ගනිමින් ජනතාව පාරට බැස්සවීම ප්‍රෝඩාකාරී ක්‍රියාවක් බව ද සඳහන් කරයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ සේවා ලබා ගැනීමට පැමිණෙන්නේ සාමාන්‍ය ජනතාවයි. මේ කටයුතු හේතුවෙන් ඔවුන් ගේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙනවා. නීතිඥ සංගමය අධිකරණය දේ්ශපාලන වේදිකාවක් කරගෙන සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් කරනවා යැයි ද ඔහු පැවසුවේ ය.

මෙහිදී මාධ්‍ය ඇමතූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ ශාන්ත හේරත් මහතා පැවසුවේ 1988/89 වර්ෂවල ජනතා විමුක්ති පෙරමුණ එක් ලිපියකින් හෝ දුරකථන ඇමතුමකින් අධිකරණය වැහුවා. අදත් එම තත්ත්වය උදාවෙලා. අපි උදේ උසාවියට වැඩ කරන්න ආවාම උසාවි වැඩ නැහැ කියලා කියනවා. බංකොලොත් දේශපාලන කණ්ඩායමක් රට අරාජික කොට සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් කරනවා.

සුළු කොටසක මෙම ක්‍රියාව ජනතාව තේරුම් ගත යුතුව ඇති බව පැවසූ නීතිඥවරයා, ජනතා පරමාධිපත්‍ය දෝෂාභියෝගය තුළ පිළිබිඹු වන බවත් වසර 30ක ත්‍රස්තවාදය විනාශ කර රට සංවර්ධනය කරා යන ගමනේ දී ඊට බාධා එල්ල කළ සමහර නීතිඥවරුන් විදේශවලට ගොස් ශ්‍රී ලංකාවේ නිදහස නැති බවට ප්‍රකාශ ලබා දෙමින් ඩොලර්, පවුම් ලබා ගත් සැටි රටම දන්නා බවත් පැවසුවේය. එදා යුද්ධය අඩාල කොට රට අරාජික කරන්න මාන බැලූ ඩයස්පෝරාවේ නීතිඥවරුන් පිරිසක් අගවිනිසුරු පිටුපස ද සිටින බව පැවසූ නීතිඥවරයා, මෙම බංකොලොත් දේශපාලන කණ්ඩායම එන්.ජී.ඕ වරප්‍රසාදවලට යටවී රට පාවාදීමට ක්‍රියා කරන බවත් සඳහන් කෙළේය.

නීතිඥ වීරසිංහ රණහේවා මහතා පැවසුවේ මෙම වැඩ වර්ජනයට නීතිඥයින් අතළොස්සක් සහභාගි වූ බවත් ඔවුන් රටේ අර්බුද ඇති බවට ජාත්‍යන්තරයට මවාපා එන්.ජී.ඕ. වලින් මුදල් ලබා ගන්නා බවත් ය.

සරත් ෆොන්සේකා පිටුපස ද මෙම නඩය සිටිමින් ඔහුට හිර බත් කවා දැන් අතරමං කර ඇති අතර ඔහුට ද යන එන මං නැති වී ඇති බව පැවසූ නීතිඥවරු අගවිනිසුරුවරිය මෙය තේරුම් ගත යුතු බව පැවසූහ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයෝ රැසක් මෙම වැඩ වර්ජනයට එරෙහිව එය හෙළා දැක ප්‍රකාශ නිකුත් කළහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා