පෙළපාළියෙන් ම පාර්ලිමේන්තුවට රිංගන්න හැදූ පාකිස්තානුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

පෙළපාළියෙන් ම පාර්ලිමේන්තුවට රිංගන්න හැදූ පාකිස්තානුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

පාකිස්තාන පූජක ටහිර් උල් කාඩ්රි ගේ නායකත්වය යටතේ ලාහෝරයේසිට ඉස්ලාමාබාදය කරා පැමිණි විරෝධතා පෙළපාළියේ පිරිස් ඊයේ උදේ පාර්ලිමේන්තුවට කඩා වැදීමට තැත් කර ඇති අතර එහිදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් යොදා තිබේ.

මෙහිදී ආරක්ෂක බළකා වෙත විරෝධතාකරුවන් ගල්-මුල්වලින් ගසා දමා තිබේ. ‍ඒ සමඟ වෙඩි හඬ නැඟී ඇතිමුත් වෙඩි තබන ලද්දේ කවුරුන් ද යන්න පැහැදිලි වී නැත. එහෙත් පොලු-මුගුරු අතැතිව සිටින උද්ඝෝෂකයන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු මාධ්‍යවේදීන් දැක ඇත.

පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවාලීම හා සාමකාමී විප්ලවයක් සඳහා ජනතාව කැඳවීම සඳහා ඉස්ලාමාබාදය වෙත පෙළපාළියකින් පැමිණි දහස් ගණනක විරෝධතාකරුවන්ට නායකත්වය දුන් ඉස්ලාමිය පූජකවරයා ඊයේ පාකිස්තාන රජය සමඟ තීරණාත්මක සටනකට සූදානම්ව සිටියදී මේ තත්ත්වය උද්ගතව තිබේ.

ලාහෝරයේ සිට ඉස්ලාමාබාදයට පැමිණීමට මේ පෙලපාලියට පැය 38ක් ගතව තිබිණ . අතර මගදි දහස් ගණන් ආධාරකරුවන් ඊට එක්ව තිබිණ.

ආරක්ෂාව තරකර තිබුණු අගනගරයේදී සහායක ජනතාව ඇමතූ 61 හැවිරිදි ටහිර් උල් කාඩ්රි රජයට අවසන් කාල සීමාවක් ලබා දෙන බව කියා සිටියේය.

පෙරේදා රාත්‍රිය බෙහෙවින් සීතල වුවද එහි කඳවුරු බැඳ රැඳී සිටින ලෙස සහායක ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු එළිය වැටුණු පසු පාර්ලිමේන්තුව කරා ගමන් කළ යුතු යැයි පවසා තිබිණ. පාර්ලිමේන්තුව කරා යොමුවුණු මාර්ගය නැව් බහාලූ යොදා අවහිර කර තිබිණ.

පාර්ලිමේන්තුව විසුරුවා ලීමට පෙ.ව. 11 වනතෙක් කාලය ලබා දෙන බව කියා සිටි ඔහු, නොඑසේ නම් ප්‍රජාතන්ත්‍රීය විප්ලවයකට මුහුණ දීමට රජය සූදානම් විය යුතු යැයි කීය. වෙඩි‍ නොවදින කුටියක සිට සහායක ජනතාව ඇමතූ ඔහු අදාළ කාලසීමාවෙන් පසු එහි පවත්නා ජන සභාව ඔවුන්ගේ තීරණයන්ට අනුව ක්‍රියාකරනු ඇතැයි පැවැසීය.

ඔහුගේ කතාවෙන් පසු පාර්ලිමේන්තුව හා වෙනත් රජයේ ගොඩනැඟිලිවලින් රැස්වීම් භූමිය වෙන්කෙරුණු නැව් බහාලූ කීපයක් ඉවත්කිරීමට අනුගාමිකයෝ උත්සුක වූහ.

මේ අනුගාමිකයන් පවසන්නේ පාකිස්තානයේ පවත්නා ගැටලුවලට එකම විසැඳුම වන්නේ කාඩ්රි පවසන පරිද්දෙන් දූෂණයට තිත තබා සංශෝධන ක්‍රියාත්මක කිරීම බවය. ජනතා අයිතීන් වෙනුවෙන් කරන සටන ජයගතහැක්කේ ඔහුට පමණක් බව ද ඔවුහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා