මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ඉවතට

මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ඉවතට

මාලදිවයිනේ ඉන්දීය තානාපති කාර්යාලයේ රැකවරණය ලබා සිටින එරට හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව දැන් බල රහිත වී ඇති බැවින් ඔහුට තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණිය හැකි බව මාලදිවයින් රජය ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉන්දියාව මෙන්ම එක්සත් ජනපදයද මාලදිවයින නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා යොමුවෙමින් සෑම දේශපාලන පක්ෂයකටම සිය අභිමතය පරිදි අපේක්ෂකයන් තෝරා ගැනීමට නිදහස තිබිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

සන්සුන් වන ලෙසත් ප්‍රචණ්ඩත්වයේ භාවිතය ප්‍රතික්ෂේප කරමින් නොසන්සුන්කාරිත්වයට තුඩුදෙන වාගාලාප මඟ හරින ලෙසත් සියලු පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නියුලන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මේ අතර නෂීඩ් පවසා ඇත්තේ තමන් අත්අඩංගුවට නොගන්නා බව හා සැප්තැම්බර‍යේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්විමට නිදහස තිබෙන බව බලධාරින් විසින් තහවුරු කරන තුරු ඉන්දීය තානාපති කාර්යාල රැකවරණයේ පසුවන බවය. එහෙත් දැන් මාලදිවයින් රජයේ ප්‍රකාශක මසුද්ඉමාද් පවසා ඇත්තේ නෂීඩ් දැන් නිදහස් මිනිසකු හෙයින් ඔහුට ඉන්දීය තානාපති කාර්යාලයෙන් බැහැර විය හැකි බවය. "පොලීසිය ඔහුව අත් අඩංගුවට ගන්නේ නැහැ.

ඔහු‍ට එරෙහිව නිකුත් කළ වරෙන්තුවේ කාලය ඉකුත් රාත්‍රියේ අවසන් වුණා "යැයි පවසන මසුද් ඔහු වෙත ළඟාවිය නොහැකි බව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර ඇතැයිද කීවේය.ඒ සමගම නඩු විභාගය පැවැත්වෙන මීළඟ දිනයක් අධිකරණයෙන් ප්‍රකාශයට පත්කෙරී නැතිහෙයින් අත් අඩංගුවට ගැනීමේ තර්ජනයක් නොපවත්නා බවද ඔහු කීවේය. 'මේ නිසා ඔහුට බියවිමට දෙයක් නැහැ. දැන් ඔහුට එළියට පැමිණිය හැකියි 'මසුද් වැඩිදුරටත් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා