අබලන් බෝට්ටුවල නැගී යුරෝපයට එන සංක්‍රමණිකයන්ගේ ජිවිත අවදානමේ

අබලන් බෝට්ටුවල නැගී යුරෝපයට එන සංක්‍රමණිකයන්ගේ ජිවිත අවදානමේ

මුහුදුබත් වූ යාත්‍රාවල සිටි 5800ක් පමණ බේරා ගෙන

අබලන් බෝට්ටුවල නැගි මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට පලා යන සංක්‍රමණිකයන් 5800 ක් ඉකුත් සති අන්තයේ මූදු බත් විමෙන් බේරාගෙන ඇති අතර ඉන් 2150 ක්ම බේරාගෙනඇත්තේ ඉකුත් ඉරිදා බව ඉතාලියානු වෙරළාරක්ෂකයන් පවසා තිබේ.

මේ සංඛ්‍යාව මෑත වසරවලදී බේරාගනු ලැබූ විශාලම සංඛ්‍යාව බව ඔවුන් කියා ඇත.

මෑතදී මෙසේ පලා යන්නවුන් රැගත් බෝට්ටු අනතුරට පත්විමෙන් විශාල ව්‍යසනයන් කිපයක් සිදුවුනද මැදිපෙරදිග හා අප්‍රිකානු රටවලින් ජිවිත පරදුවට තබා පලා යන මේ සංක්‍රමණිකයන් අධෛර්ය පත්වීමට ඒවා ඉවහල්වී නැතිබව පෙනේයැයි වෙරළාරක්ෂකයින් වැඩි දුරටත් පවසා තිබේ.

ඉකුත් අප්‍රේල් 12 හා 13 වැනි දා පමණක් 6000 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බවද සඳහන් වේ.

ඉකුත් ඉරිදා බේරාගත් ‍පිරිස් රැගත් බෝට්ටු දෙකක මිය ගිය අටදෙනකුගේ මළ සිරුරු තිබී ඇත. ඔවුන් මියගොස් ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නැති නමුත් බොහෝවිට පමණට වැඩි පිරිසක් ගමන් ගැනිමේදි ඇතිවන තද බදයද ඊට හේතුවක් ව තිබේ. ගැලවුම් ක්‍රියාවලියේදී ඔවුන්වෙත ළඟාවීමට මුහුදට පිනූ දෙදෙනකු ද දියේ ගිලි මියගොස් තිබේ.

මේ ගැලවුම් කටයුතු සිදුව ඇත්තේ ලිබියානු වෙරළාරක්ෂකයින් විසින් සංක්‍රමණිකයන් 500 ක්පමණ රැගත් තවත් බෝට්ටු 5 ක් ආපසු හරවා යැවිමෙන් පසුය. තවත් සංක්‍රමණිකයන් 50 ක් ඉතාලියානු දූපතකට ළඟාවී තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා