බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක මැතිවරණ පොරොන්දු ගලක කොටා මහජන ප්‍රදර්ශනයට තබලා

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක මැතිවරණ පොරොන්දු ගලක කොටා මහජන ප්‍රදර්ශනයට තබලා

සිය මැතිවරණ පොරොන්දු ගලක කොටා මහජන ප්‍රදර්ශනයට තැබිමට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් පියවර ගෙන තිබේ. ඒ අනුව මැයි 7 දා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඔහු ජනතාවට දී ඇති පොරොන්දු ඇතුලත් කරනලද මීටර් 2.5 ක ශෛලමය සිහිවටනයක් මිලිබෑන්ඩ් විසින් පෙරේදා විවෘත කරන ලදී .ඔහු මෙවන් ක්‍රියාවකට පෙළඹී ඇත්තේ ඔහු අගමැතිලෙස තෝරාගැන්ම සඳහා ජනතාවට ඉඩකඩ සලසනු පිණිසය.

අගමැති ‍ඩේවිඩි කැමරොන්ගේ කොන්සර්වැටිව් පක්ෂය සමග කරට කර සටනක නියැලීසිටින කම්කරු පක්ෂයේ නායකත්වය දරණ මිලිබෑන්ඩ් පවසන්නේ බ්‍රහස්පතින්දා පැවැත්වෙන මැතිවරණයෙන් තමන් අගමැති ලෙස තෝරාගනු ලැබුවහොත් හුණුගලින් කළ මැතිවරණ පොරොන්දු කොටන ලද මෙ ශෛලමය සිහිවටනය ඩවුනින් විදියේ අංක 10 දරණ අගමැති මන්දිරය අයත් උද්‍යානයේ පිහිටුවන බවය.

"මගේ මැතිවරණ පොරොන්දු හය මේ ගලේ කොටා තිබෙනවා . ඒවා ගලේ කොටන ලද්දේ මැතිවරණයෙන් පසු ඒවා අත්හැර නොදමන බව සහතික කිරිමටයැයි "සිහිවටනය විවෘත කරමින් මිලිබෑන්ඩ් කීවේය.

"මේ පොරොන්දු බ්‍රිතාන්‍ය ජනතාවගේ සිහියේ තිබිය යුතුයි. ඔවුන්ට ඒවා අපට සිහිපත්කළ හැකියි. ඒවා ගැන ප්‍රශ්න කළ හැකියි. අප ඒ පොරොන්දු ඉටුකරනවා . ඒගැන ජනතාව තුල සැකයක් ඇති‍ නොවිය යුතුයි. මහමැතිවරණයේදී දුන් පො‍රොන්දු ඉටුකිරීමෙන් අපි දේශපාලනය ගැන ජනතාව තුළ විශ්වාසයක් ගොඩ්නගනවා යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මිලිබෑන්ඩ්ගේ මැතිවරණ පොරොන්දු හයට සංක්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කිරීම ,වැඩකරන ජනතාවගේ ජිවන තත්ත්වය නගාලිම හා ශක්තිමත් ආර්ථික පදනමක් ඇතිකිරීම යන ඒවාද ඇතුලත්ය.

එහෙත් මිලිබෑන්ඩ්ගේ ප්‍රතිවාදීන් මෙන්ම සමාජ වෙබ්අඩවිවලද ඔහුගේ මෙම ක්‍රියාව සමච්චලයට ලක්කර තිබේ. සමහරකු එය හඳුන්වා ඇත්තේ "එඩ් ගේ සෙල්ලිපිය" ලෙසයි.

ඉතිහාසයේ එන සුවිසාලම සියදිවිනසාගැන්මේ සටහන මෙය වන බව ඩේලිටෙලිග්‍රාෆ් තීරු රචක ටිම් ස්ටැන්ලි පවසා තිබේ. කොන්සර්වැටිව් පාක්ෂික ලන්ඩන් නගරාධිපති බෝරිස් ජොන්සන් ගේ අදහස වී ඇත්තේ එය මෝසස්ගේ දසපනත මෙන් බයිබලයෙන් උපුටාගත් ක්‍රියාවක් හා සමාන නමුත් විකාරයක් බවය.

කෙසේවෙතත් බ්‍රහස්පතින්දා පැවැත්වෙන මහ මැතිවරණය අවිනිශ්චිත ප්‍රතිඵල ගෙන දෙන්නක්වනු ඇති බව බොහෝදෙනාගේ මතය වී තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා