නයිජීරියාවේ බොකෝහරාම් ග්‍රහණයේ සිටි 700ක් හමුදාවෙන් නිදහස් කර ගනිති

නයිජීරියාවේ බොකෝහරාම් ග්‍රහණයේ සිටි 700ක් හමුදාවෙන් නිදහස් කර ගනිති

නයිජිරියාවේ ඝන වනාන්තරයක බෝකෝහරාම් ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇප කරුවන්700 කට වැඩි ප්‍රමාණයක් පසුගිය සතියේ හමුදාව මගින් බේරාගන්නා ලද අතර එම හමුදා මෙහෙයුමේදී කාන්තාවන් කීප දෙනකු හමුදා යුද ටැංකිවලට යටවීමෙන්ද තවත් තිදෙනකු බිම්බෝම්බවලට අසුවීමෙන්ද ජීවිතක්ෂයට පත්ව ඇතිබව නිදහස ලත් ප්‍රාණ ඇපකරුවන් ප්‍රකාශ කර තිබේ.

නයිජිරියාවේ ඊශාන දිග කොටසේ පවත්නා කැරලිකාරිත්වය මැද ග්‍රහණයට ගනු ලැබු කාන්තාවන් හා ළමයින් ද ඇතුළත් මේ ප්‍රාණ ඇපකරු පිරිස රඳවා තිබී ඇත්තේ බෝකෝහරාම් බල ප්‍රදේශයක් වන සැම්බිසා වනාන්තරයේය.

මොවුන්ගෙන් කාන්තාවන් හා ළමයන් ඇතුළත් 275 දෙනකු අදමාවා ප්‍රාන්තයේ යෝලා අගනගරයේ පිහිටි සහන කඳවුරක් වෙත ගෙන ගිය බව හමුදාව කියා තිබේ. ඔවුන් දැඩි අසහනකාරිත්වයෙන් පසුවන අතර එහිදි පුනරුත්ථාපනය කෙරෙනු ඇතැයි පැවසි තිබේ. කාන්තාවන් 8 දෙනකු හා ළමයින් 15 දෙනකු ගැලවුම් මෙහෙයුමේදි තුවාල ලැබ තිබුණෙන් ඔවුන් රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.

අදාල වනාන්තරයේ 2014 අප්‍රේල් මස මේ ත්‍රස්තයන් විසින් පැහැරගත් බාලිකාවන් 219 දෙනාද සිටිනු ඇතැයි අපේක්ෂා කෙරී තිබිණ. කෙසේවෙතත් එහි 700කට වැඩි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් සිට ඇත.

වසරකට පමණ පෙර පැහැරගෙන යනලදුව ප්‍රාණ ඇපකාරියක්ව සිටි කාන්තාවක් පවසා ඇත්තේ හමුදාව ඔවුන් ගලවා ගැන්මට පැමිණි අවස්ථාවේ හමුදා ෂෙල්වෙඩි ප්‍රහාරවලින් බේරෙනු පිණිස ගස් හා පඳුරුවලට මුවාවන ලෙස ත්‍රස්තවාදින් ඔවුනට උපදෙස් දුන් බවය. මෙහිදී එසේ ගස් හා පඳුරුවලට වසංව සිටි කාන්තාවන් කීපදෙනකු හමුදා යුද ටැංකිවලට යට වී ජිවිතක්ෂයට පත්ව තිබේ. යුද ටැංකි මෙහෙයවන සෙබළුන් ඔවුන් දැක නැත.

බෝකෝහරාම් ත්‍රස්තයන් යටත් කරගැන්මෙන් පසු දුර්වල හා රෝගී තත්ත්වයේ පසුවූ ප්‍රාණ ඇපකරුවන් වාහනවලට පටවා ගත් හමුදාව සෙස්සනට එකිනෙකා පසුපස ඇවිද එන ලෙස උපදෙස් දි ඇත්තේ බිම්බෝම්බවලින් බේරෙනු පිණිසය. එහෙත් කාන්තාවක බිම්බෝම්බයක් මත පය තැබිමෙන් ඇති වු පිපිරුමෙන් කාන්තාවන් තිදෙනකු හා සෙබළුන් කීප‍දෙනකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය වසරේ පටන් 2000 ක පමණ කාන්තාවන් හා බාලිකාවන් පිරිසක් මේ බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් පැහැරගෙනගොස් ඇති අතර ඔවුන් විවාහ කර ගැන්ම , කායික හා මානසික අයථා ක්‍රියාවන්හි යොදාගැන්ම හා වහල් සේවයට යොදාගැන්ම සිදුකර තිබේ. තවත්සමහරකු යුද පෙරමුණේ සටන් සඳහා යොදාගෙන තිබිණ. හැකියාවක් තිබූ සමහර කාන්තාවන් ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදි පලා ගොස් තිබිණ. එහෙත් ළමාළපටින් සිටි කාන්තාවන්ට එයද කළ නොහැකිව ඇත. ගැබ්බර කාන්තාවන් පවා දරු උපතින් පසු විවාහ කරගැන්මට ඔවුන් පෙලඹුනු බව පැවසී ඇත.

මේ අතර රජයේ කඳවුරුවල ගාල් කර සිටින මුදාගත් පිරිසට කිසිඳු පහසුකමක් ලබා දි නැති බවට චෝදනාද එල්ල වී තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා