ජනතාව කුස ගින්නෙන් ගලවා ගැනීමට ‘අපි වවමු-රට නඟමු’ වැඩසටහන ආරම්භ කළා

ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගන්නා අතරතුර

ජනතාව කුස ගින්නෙන් ගලවා ගැනීමට
‘අපි වවමු-රට නඟමු’ වැඩසටහන ආරම්භ කළා

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ
වාර්ෂික සම්මේලනයේ දී ජනපති කියයි

ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගන්නා අතරතුර රටේ ජනතාව කුසගින්නේ නොතැබීමේ අරමුණින් ආරම්භ කළ ‘අපි වවමු - රට නඟමු’ වගා සංග‍්‍රාමයෙන් සුවිශාල ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගත්තේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ කාර්යයේ නියමුවන් හැටියට කටයුතු කළ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට තම ප‍්‍රණාමය පිරිනමන බව සඳහන් කළ ඒ මහතා මේ සටනේ අවසන් ජයග‍්‍රාහී මොහොත තෙක් රැගෙන යාමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බවද අවධාරණය කෙළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමිනි. ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් දිවයින පුරා විසිරී සිටින එම නිලධාරීන් 5000 කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

දිනක වැටුප

ශ‍්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ ජාතික සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (10) පැවැත්විණි. එම නිලධාරීන්ගේ දිනක වැටුපෙන් එක් රැස් කළ රුපියල් ලක්ෂ 12.5 ක මුදලක් ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට පරිත්‍යාග කරන ලද අතර ඊට අදාළ චෙක් පත සංගමයේ නිලධාරීන් අතින් ජනාධිපතිවරයා වෙත බාර දුන් අයුරු.
ඡායාරූපය - සුදත් මලවීර

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ දිනක වැටුපෙන් එක් රැස් කළ රුපියල් ලක්ෂ 12.5 ක මුදලක් ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල සඳහා මෙහිදී පරිත්‍යාග කෙරිණි. සහන ගම්මාන වල වෙසෙන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අභ්‍යාස පොත් 50,000 ක් පරිත්‍යාග කිරීමද මෙදින සිදු කෙරිණි. ඊට අමතරව එම සංගමයේ සමරු කලාපය හා ‘පියවර’ පුවත්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු කෙරිණි.

මීට වසර තුනකට ඉහතදී ලෝක ආර්ථික අර්බුදයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගත් බවත් ඊට නිසි විසැඳුම් සපයමින් ‘අපි වවමු - රට නඟමු’ වැඩපිළිවෙළ ආරම්භ කළ බවත් රාජපක්ෂ මහතා කීවේය.

උපන් මාතෘ භූමිය රැක ගැනීම, සංවර්ධනය කිරීම මෙන්ම ජනතාවට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට හැකි වාතාවරණයක් රටේ ගොඩනැංවීමේ වගකීම අපි සියලු දෙනාටම පැවැරී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා භේද වලින් තොරව සියලු පාර්ශවයන් කැප විය යුතු බවද පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා - කෘෂිකර්ම හා නිෂ්පාදන සහකාර නිලධාරීන් මේ රටේ ජාතික සංවර්ධනයේදී පුළුල් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් විශාල කැපකිරීමක් කර තිබෙන බව කියන්න පුළුවන්. මේ තනතුරට බඳවා ගත්තේ මීට වසර 12 කට පෙරයි. ඒ කාලයේ ඔබ වෘත්තීය ක්ෂේත‍්‍රයේ කෘෂිකර්මය හා රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් ඉතා විශාල සේවාවක් සිදු කර තිබෙනවා.

බරපතළ හිඟයක්

ඔබලා මේ තනතුරට බඳවා ගනු ලැබුවේ ඇයිද යන්න අද පැහැදිලි වෙනවා. 1994 දී පොදු ජන එක්සත් පෙරමුණු රජය බලයට පත් වන අවස්ථාවේ කෘෂි ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ බරපතළ හිඟයක් තිබුණා. 1977 වසරේ බලයට පැමිණි රජය මේ රටේ කෘෂිකර්මයට සැබෑ ආදරයක් ඇතිව කටයුතු කෙළේ නෑ. 1994 දී බලයට පත් වන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට ආධාර ලබා ගැනීමේ යම් යම් බලපෑම් පැමිණියා.

වසර දහස් ගණනක ඉතිහාසයේ අපිට කෘෂිකාර්මික ආර්ථිකයක්, සංස්කෘතියක් තිබෙනවා. මේ රට දියුණු කිරීමේ පදනම කෘෂි කර්මාන්තය බව පැහැදිලියි. මේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යභාරය අපි සතුයි. පසුගියස වසර 63 ක කාලයේ මේ රටේ කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳව සතුටු විය හැකියි.

දේශීයත්වය පිළිබඳ සැබෑ අවබෝධයක් ඇති අයෙක් හැටියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශීය ආහාර නිෂ්පාදන ජාතික මෙහෙයුම කරමින් විශාල ප‍්‍රතිඵල ලබා තිබෙනවා. අපි බලාපොරොත්තු වන ආකාරයට ඔබලාගේ සහයෝගය අවශ්‍යයි. 2008 මහ බැංකු වාර්තාව පෙන්වා දුන්නේ වසර 60 ක කාලයක් මේ රටේ කෘෂිකර්ම අංශයේ වර්ධනය සියයට 7.5 ක් බවයි. දළ ජාතික නිෂ්පාදිතය සියයට 13 ක් වුණා.

ඔබලා සියලු දෙනා එකතු වී රටේ සංවර්ධනය වෙනුවෙන්ගෙන ඇති තීරණාත්මක වැඩ පිළිවෙළ අනාගත පරපුරේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද වැදගත් වෙනවා. අතීතයේ ලද ජයග‍්‍රහණ සේම අනාගතය ජය ගැනීමටද අධිෂ්ඨානශීලීව ඉදිරියට යා යුතුයි. 2002, 2003 යන වසර වල පැවැති එක්සත් ජාතික පක්ෂ රජය සමයේ කෘෂි ක්ෂේත‍්‍රයේ විශාල ගැටලු ඇති වුණා.

ඔබේ වෘත්තීය ක්ෂේත‍්‍රයට ගෞරවාන්විතව සේවය කරන්නට අපේ රජය අවස්ථාව ලබාදී තිබෙනවා. ඔබේ වගකීම රට වෙනුවෙන් ඉටු කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දී තිබෙනවා. රටේ සංවර්ධන කාර්ය පිළිබඳව වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය පිළිබඳවද ඔබලා හොඳින් දන්නවා.

මේ දක්වා ඔබලා පැමිණි ගමන් මගේ කීර්තිය ඉදිරියටත් ආරක්ෂා කර ගත යුතු වෙනවා. නාගරික ප‍්‍රදේශයෙන් භාහිරව සේවය කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මේ සංවර්ධන කාර්යයේදී මෙන්ම ඔබේ වෘත්තීය කාර්යයේදී ඔබ වෙනුවෙන් කළ හැකි ඉහළම කාර්යභාරය ඉටු කරන්නට අපි සූදානම්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කරන්නට කටයුතු කිරීම වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. ඉදිරි මැතිවරණ වලදීද ඔබගේ සහයෝගය අගය කරනවා. මේ රජය බලයට පත් කිරීමේ කොටස් කරුවන් හැටියට ඔබ සැම හඳුන්වන්න පුළුවන්.

පොහොර සහනාධාරය

රජයෙන් ලබා දෙන පොහොර සහනාධාරය විදිමත් ආකාරයෙන් බෙදා දීමට කටයුතු කිරීම පිළිබඳව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හැටියට ඔබලාට ස්තුති වන්ත වෙනවා.

කෘෂිකර්ම සංවර්ධන ඇමැති හේම කුමාර නානායක්කාර මහතා - රටක සමෘද්ධිය රඳ්‍ර පවතින්නේ ඒ රටේ නිවහල් භාවය මතයි. දේශපාලනය ඒ සඳහා ප‍්‍රමුඛස්ථානයක් ගන්නවා. දශක තුනක් මේ රටේ පැවැති ත‍්‍රස්තවාදය අතුගා දමන්නට රටේ පිනට පහළ වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා. වසර 32 ක් මේ රටේ ජනතාව පීඩනයට ලක් කළ මේ අවාසනාවන්ත යුද්ධය අවසන් කර රට සමෘද්ධිමත් කිරීම සඳහා යෝධ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

1948 දී සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට නිදහස් කරගන්නට පළමු නිදහස් අරගලය දියත් කළා. කලක් ගත වන විට මේ රටේ නිදහසට ස්වාධීනත්වයට බලවත් තර්ජනයක් ලෙස ත‍්‍රස්තවාදය ක‍්‍රමානුකූලව හිස එසවූවා. ඇතැම් සංවිධානයන් ත‍්‍රස්තවාදී සංවිධානය පෝෂණය කරන්නට කටයුතු කළා.

අපේ රට ලෝකයේ කුඩා රටක් වුණත් ලොකු අභිමානයක් ඇති රටක් ලෙස ලෝකයා ඉදිරියට පැමිණ තිබෙනවා. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මානුෂීය මෙහෙයුම කි‍්‍රයාත්මක වන කාලයේ එක්තරා දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මටත් මෛතී‍්‍රපාල සිරිසේන ඇමැතිතුමාටත් සිරිපාල ගම්ලත් ඇමැතිතුමාටත් උපදෙස් දුන්නා. මේ රට ස්වයංපෝෂණය කිරීමට ගෙන යා යුතු වැඩ පිළිවෙළ පිළිබඳවයි.

පසුගිය වසරේ අපේ රටේ කෘෂිකර්ම අංශයේ වර්ධනය සියයට 6 ක් වෙනවා. මේ වසරේදී ද ප‍්‍රමාණවත් ලෙස වර්ධනයක් ලබා ගෙන තිබෙනවා. අපේ රටේ ගොවි ජනතාවගේ අප‍්‍රතිහත ධෛර්්‍යය නිසා නිෂ්පාදන කි‍්‍රයාවලිය වේගයෙන් ඉදිරියට පැමිණ ඇතැයි කියන්න පුළුවන්. ගම්වල ගොවි ජනතාවට කිට්ටුම නිලධාරීන් මේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පමණයි.

තිබෙන සීමිත පහසුකම් යටතේ නවීන තාක්ෂණය ගොවිතැනට හඳුන්වා දෙන්නට ඔබලා විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. ඒ කටයුතු සිදු නොවන්නට අපේ කෘෂි නිෂ්පාදන දියුණු කරන්නට හැකි වෙන්නේ නෑ. අද උතුර දකුණ සෑම තැනෙකම එකම කොඩියක සෙවණේ වෙසෙන්නට අවස්ථාව ලැබී තිබෙනවා.

අපට තිබෙන්නේ පැය 8 ක් අවංකව රාජකාරිය කිරීමයි. ඒ කාර්යය මේ රට ස්වයංපෝෂණය කිරීමේ කාර්යට දායක වීමයි. අපේ රටේ සියයට 37 ප‍්‍රමාණයක් සෘජු ලෙසම ගොවිතැන් කරනවා. සියයට 80 ක ප‍්‍රමාණයක් සෘජු හා වක‍්‍ර ලෙස දායක වෙනවා. ඔබලා සියලු දෙනා මේ රට වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කළ යුතු වෙනවා.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා - අපි ඔබ කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබා තිබෙනවා. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවි පිරිස ඉඩ කඩ තිබෙන පරිදි කෘෂිකර්ම කටයුතු කරන්න දිරිමත් කිරීම අවශ්‍යයි. අපේ විශාල සම්පතක් හැටියට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලේ සහල් කිලෝව රුපියල් 100 ට වඩා යන විට විශාල පිරිසක් කැරැලි ගසන්නට පටන් ගත්තා.

වර්තමාන රජය මේ අර්බුදයට සාර්ථක විසඳුම් සොයමින් ගනු ලැබූ නව වැඩ පිළිටවළ විශාල වටිනාකමක් ලැබුණා. වැව් අමුණු 40000 පිළිසකර කරමින් ගම් මට්ටමින් කෘෂිකාර්මික අංශයේ දියුණුවට විශාල මෙහෙවරක් කළා. ලෝකයේ අර්බුද හමුවේ ඊට මුහුණ දෙමින් කටයුතු කරන්නට වර්තමාන රජය පියවර ගත්තා.

නිෂ්පාදනය සඳහා ගත හැකි සෑම වගා බිමක්ම ඒ සඳහා යොදා ගැනීමට අවශ්‍ය නීතිමය පරිසරය සකස් කර තිබෙනවා. මේ ඓතිහාසික මෙහෙවර ඉටු කිරීමට සියලු දෙනාම කැපවී කටයුතු කළ යුතු වෙනවා.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ සභාපති එච්. එම්. නවරත්න හේරත් මහතා - අපේ නිලධාරීන් 5000 කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට එක් වෙනවා. ශ‍්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමය හැටියට අද මහා සම්මේලනය පවත්වනවා. සංගමයක් ලෙස ඉදිරියට ගත යුතු පියවරයන් පිළිබඳ යම් යම් තීරණ ගැනීමට අද අපි රැස් වුණා. අපේ සංගමය මේ දක්වා වෘත්තීය ගැටලු විසඳීමට කටයුතු කර තිබෙනවා.

අපි පැමිණි ගමන් මග පිළිබඳ කථා කරන විට එය දුෂ්කර ගමනක් බව කිව යුතුයි. ‘පියවර’ යනුවෙන් පුවත් පතක්ද අපි මුද්‍රණය කර තිබෙනවා.

අපේ කාර්යභාරය පිළිබඳ සියලු තොරතුරු එහි අන්තර්ගතයි. අපි මුළු රටේම 9600 ක් සේවය කරනවා. ඉන් 145 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම යම් යම් හේතුන් නිසා සුළු පිරිසක් සේවය කරන්නේ නැහැ. අද වන විට 9300 ක පමණ පිරිසක් සේවය කරනවා.

අද වන විට අපි 8200 ක සාමාජිකත්වයක් ලබා ගෙන කටයුතු ඉදිරියට කර ගෙන යනවා.

මුලින්ම හිටියේ සාමාජිකයින් 3500 ක් පමණයි. සියලු නිලධාරීන් එක්ව සුගතදාස කී‍්‍රඩාංගණයේදී මහරගම තරුණ සේවා සභාවේදී අපි සම්මේලන පැවැත්වූවා. අද අරලිය ගහ මන්දිරයේදී පවත්වනවා. මෙහිදී අපි යෝජනා කීපයක් සභා සම්මත කර ගන්නවා වගේම ඔබලාගේ ගැටලු පිළිබඳ යම් අවබෝධයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

දුෂ්කර ගමනක්

මෛතී‍්‍රපාල සිරිසේන ඇමැතිතුමා මීට පෙර අපගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන බව පැවසුවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා වැටුප් කොමිසම හේතුවෙන් යම් යම් ගැටලු තිබෙනවා.

‘අපි වවමු රට නගමු’ ජාතික ආර්ථික වැඩ පිළිවෙළට අද අපේ රට අවතීර්ණ වී තිබෙනවා.

රටේ සෑම අයෙකුටම බඩ ගින්නේ නොසිට කටයුතු කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා.

හොඳ පරිපාලන නිලධරීන් අපේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඒ හරහා ශක්තිමත්ව ඉදිරියට කටයුතු කරගෙන යන්න හැකි වෙනවා. අත්දැකීම් හා දැනීම් ඇති පරිපාලන නිලධාරීන් තව තවත් අවශ්‍ය වෙනවා.

ශ‍්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ ප‍්‍රධාන ලේකම් නිශ්ශංක බාලසූරිය මහතා - අපි මේ වන විට සම්මේලන කීපයක් පවත්වා තිබෙනවා. මේ රටේ දැවැන්ත කාර්යභාරයක් අපි ඉදිරියේ තිබෙනවා. මේ රටේ සැමට නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

රට වෙනුවෙන් අපි කියන තේමාව යටතේ රටේ සෑම ප‍්‍රදේශයකම ඇති කෘෂිකර්ම සහකාර පර්යේෂණ නිලධාරීන් වගකීමෙන් යුතුව කටයුතු කරනවා.

අපි අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමරු තිළිණයක් තිළිණ කරනවා. ඒ සමගම අපේ දිනක වැටුප එක් රැස් කර රුපියල් ලක්ෂ 13 ක් අපි වෙනුවෙන් අපි අරමුදලට පරිත්‍යාග කරනවා. අපි සියලු දෙනා එකතු වෙලා රට ආහාර වලින් ස්වයං පෝෂිත කිරීමේ කාර්යට එක් විය යුතු ;වනවා.

වැවිලි කර්මාන්ත ඇමැති දි. මු. ජයරත්න, වෙළෙඳ අලෙවි සංවර්ධන සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන, මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය, ව්‍යවසාය සංවර්ධන ඇමැති මනෝ විජයරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පී. රංජිත් විජේතිලක යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා