සුබසාධන කඳවුරුවල සිටි 8600ක් මුදා හැරියා

සුබසාධන කඳවුරුවල සිටි 8600ක් මුදා හැරියා

නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

වවුනියාව සුබසාධන සහ සහන කඳවුරුවල සිටි පිරිසෙන් පුද්ගලයන් 8600ක් ජූලි මස 7 වැනිදා මුදා හැරි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (10) දැනුම් දුන්නේ ය.

එසේම කඳවුරුවල රඳවා සිටින පුද්ගලයන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ඇතුළු සෙසු පහසුකම් සියල්ල සලසා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කීය. අදාළ පහසුකම් සැලැසීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවද ප‍්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ ය.

අවතැන් වූවන් සහන කඳවුරුවල රඳවා තබා ගැනීමෙන් එහා මෙහා ගමන් කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කර ඇතැයි කියමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරිණි.

නිමල් ගාමිණී අමරතුංග , පී.ඒ.රත්නායක, චන්ද්‍රා ඒකනායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම කැඳවන ලදී.

මෙහිදී විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා සඳහන් කෙළේ මේ කඳවුරුවල සිටින සාමාන්‍ය ජනතාව අතර එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිටීම සාමාන්‍ය ජනතාව මුදා හැරීමට ගැටලුවක්ව පවතින බවය.

මෙහිදී පෙත්සම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ කේ.කනගඊශ්වරන් මහතා ඉල්ලා සිටියේ මේ පිරිස අතරින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හඳුනාගත යුතු බව ය.

ඔවුන් වෙන්කර සෙසු පිරිස වන රජයේ සේවකයන්, වෘත්තීකයන්, සිසුන් ඇතුළු සිවිල් ජනතාව මුදා හැරීමට පියවර ගන්නා ලෙස හෙතෙම ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නැවත කැඳවීම ජූලි මස 27 දිනට කල් තැබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා