ජෙනරල්ගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න

ඡන්දය නැති බව දැන දැන මැතිවරණයට තරග කළා

ජෙනරල්ගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න

හපුතලේ ඡන්ද දායකයකුගෙන් පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාව අනුව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුස්සෙකු නොවන හෙයින් ඔහුගේ මන්ත්‍රීධූරය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හපුතලේ, රත්මලේ ඉහළ කොටසේ පදිංචි ආනන්දන් මොහන්දාස් මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ පෙත්සමක් ගොනු කෙළේය.

2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා අවස්ථාවේදී ෆොන්සේකා මහතා ඡන්ද බලය හිමි අයෙකු නොවූ හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට ඔහු සුදුස්සෙකු නොවන බව පෙත්සම්කරු ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක, සරත් ෆොන්සේකා, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් විජිත හේරත් මහත්වරුන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් ලෙසිනි. පෙත්සමේ මෙසේ සඳහන් වේ. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 18 (ආ) ප්‍රතිපාදනය අනුව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට සුදුස්සෙක් නොවන තැනැත්තෙක් මැතිවරණයේ අපේක්‍ෂකයෙක් ලෙස නාම යෝජනා ලැබීමට කැමැත්ත දක්වා සිටින අවස්ථාවක ඔහු වරදකරුවෙක් විය යුතු බව දක්වා ඇත.

එම මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයකු ලෙස නම ඇතුළත් කිරීමට ෆොන්සේකා මහතා කැමැත්ත පළ කිරීම නිසා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔහුගේ නම ඇතුළත් කර තිබේ. මැතිවරණයෙන් ෆොන්සේකා මහතා තේරීපත්වූ බවට මැතිවරණ කොමසාරිස්වරයා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ෆොන්සේකා මහතා ලියාපදිංචි ඡන්දදායකයෙකු නොවන බව දැන දැනම මැතිවරණ කොමසාරිස්වරයා සිය බලතල ඉක්මවා බලය අයුතු ලෙස භාවිතා කර පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා සකස් කළ 2010 මන්ත්‍රීධූරාපේක්‍ෂකයෙක් ලෙස සුදුසුකම් නොමැති ෆොන්සේකා මහතාගේ නම ඇතුළත් නාම යෝජනා පත්‍රය භාර ගැනීමෙන් අපේක්‍ෂක ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කිරීමත්, තෝරා පත් කළ මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශ කිරීමත් සිදු කර තිබේ.

2010 මහ මැතිවරණයේ අපේක්‍ෂකයෙක් ලෙස ෆොන්සේකා මහතාගේ නම ඇතුළත් කිරීමට බලයෙන් පිට ක්‍රියා කර ඇති බැවින් 2010 අපේ‍්‍රල් 12 ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රය මගින් ෆොන්සේකා මහතා මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කර ගැනීමේ නීතිමය හැකියාවක් තමන්ට ඇති බව පෙත්සම්කරු සඳහන් කරයි.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් 2010 පෙබරවාරි 26 හෝ ඊට පෙර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්‍ෂක නාම යෝජනා භාර ගැනීමේදී ඊට නුසුදුස්සෙක් වන ෆොන්සේකා මහතාගේ නම ඇතුළත් ප්‍ර. ජා. සන්ධානයේ නාමයෝජනා භාර ගෙන අපේක්‍ෂක ලේඛනයට ඔහුගේ නම ඇතුළත් කිරීම සහ 2010/04/12 දා ඔහුගේ නම තෝරා පත් කර ගත් මන්ත්‍රීවරයෙකු ලෙස ඇතුළත් කිරීම අවලංගු කිරීමට සර්ටියෝරාරි රිට් ආඥාවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලයි. එසේම ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගැනීමට භාර ගැනීම අවලංගු කරන ලෙසද ඉල්ලමින් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා