රත්නපුරේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

රත්නපුරේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

දැඩි වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හදිසි ආපදා අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

රත්නපුර, පැල්මඩුල්ල , කුරුවිට, අයගම, ඇළපාත, නිවිතිගල, ඇහැලියගොඩ යන ප්‍රදේශවල ගංවතුර හා නාය යෑම් තත්ත්වයක් ඇති විය හැකි බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා ‘ දිනමිණ’ ට පැවසී ය. අයහපත් කාලගුණය හේතුවෙන් කළු ගඟ සහ එහි සෙසු පරිවාර ගංඟාවන් වන දෙනවක , බඹරබොටු, නිරි ඇලි , හංගමු, කුරු යන ගංඟාවල ජල මට්ටම ඉහළ නගිමින් තිබෙන හෙයින් ඒ අවට ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසද හෙතෙම ඉල්ලා සිටියේ ය.

දෑලවර පිහිටි මාරපන ඇතුළු ගම්මාන රැසක පහත් බිම් සුළු ජල ගැල්මකට ලක්ව ඇති අතර පීඩාවට පත්වූ පවුල් කිහිපයක් දැනටමත් ආරක්ෂිත ස්ථාන යොමුකර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා ‘ දිනමිණට’ ප්‍රකාශ කළේ ය.

කළු ගඟේ ජල මට්ටම මීටර් 5.6 දක්වා ඉහළ නැඟ ඇති අතර එය මීටර් 06 ඉක්ම වීම රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර තත්ත්වයක් ලෙස සැලකෙන බව රත්නපුර වාරිමාර්ග අධ්‍යක්ෂක සත්‍ය පි‍්‍රය බෙලිගස්වත්ත මහතා සඳහන් කළේ ය.

ඒ අතර කළු, වේ, හංගමු ඇතුළු ගංඟා කීපයක ජල මට්ටම වැඩිවීමත් සමඟ රත්නපුරයට නාවික හමුදාව කැඳවීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා තීරණය කර ඇත.

කළු ගඟේ ජල මට්ටම අඩි 17යි අඟල් අට දක්වා ඊයේ (19) උදේ 11 පමණ වනවිට ඉහළ ගොස් තිබුණි. අඩි 19 පමණ වනවිට කළු ගඟ පිටාර මට්ටමට ලඟාවන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා