අවතැන්වූවන් වෙනුවෙන් සහන කඳවුරු 39ක්

අවතැන්වූවන් වෙනුවෙන් සහන කඳවුරු 39ක්

ගංවතුර මරණ 17 ට නඟී

දිසා 8ක ලක්ෂ 5 ක් අනාථයි

අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (19) වන විට දිස්ත්‍රික්ක අටක ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වී පුද්ගලයන් 17 දෙනෙකු මරුමුවට පත්වී තිබේ.

ගංවතුර හේතුවෙන් නිවාස 137 ක් සම්පූර්ණයෙන් විනාශවී ගොස්, තවත් නිවාස 715 කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිල මහතා “දිනමිණට” පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර දිස්ත්‍රික්කයන් මෙම ගංවතුර තත්ත්වයට මුහුණ පා ඇත. මීට අමතරව මන්නාරම සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්වල පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පස් දෙනකු මරණයට පත්ව ඇති අතර පුත්තලම, අනුරාධපුර දිස්ත්‍රික්වලින් මරණ දෙක බැගින් වාර්තා වී ඇත.

කළුතර, ගාල්ල, රත්නපුර දිස්ත්‍රික්ක වලින් එක් මරණය බැගින් වාර්තාවී තිබේ.

එක් අයකු අතුරුදන්වී හා පුද්ගලයන් හය දෙනකු තුවාල ලබා ඇතැයිද සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.

මීට අමතරව කුඹුරු හා වගාබිම් රාශියක් හා ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනාගමනය අඩපණ වී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය. රජයේ රෝහල්, රාජ්‍ය ආයතන, රජයේ පාසල් කිහිපයක් ද ජලයෙන් යට වී තිබෙන බව ද හෙතෙම කීවේය.

රජය මගින් මේ වන විට සහන කඳවුරු 39 ක් පිහිටුවා ඒ සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබා දීමට කටයුතු යොදා ඇත.

ගංවතුරට හසුවී සිටින ප්‍රදේශවල ජනතාව ප්‍රවාහනය සඳහා නාවුක හමුදාව මගින් බෝට්ටු සේවාවක් අරඹා ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙහිදී කොළඹ දිස්ත්‍රික් ලේකම් ජෝශප් සිල්වෙස්ටර් මහතා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් තිස්නවදහස් එකසිය විස්සක් අවතැන් වී සිටින අතර එය පුද්ගලයන් වශයෙන් එක්ලක්‍ෂ හැටදෙදහස් දෙසීයක් වන බවය.

කොළඹ, තිඹිරිගස්යාය, කෝට්ටේ, සීතාවක, මහරගම, කැස්බෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වැඩි වශයෙන් වර්ෂා ජලයෙන් යටවීම බලපා තිබෙන අතර අවතැන් වූ සියලු දෙනාට සහන සැලසීම සඳහා යුද හමුදා සාමාජිකයන් යොදාගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ඒ මහතා පවසයි.

මේ භූමිවල එදාට වඩා අද තිබෙන ඉදිකිරීම් ප්‍රමාණය ද පදිංචි පුද්ගලයන්ගේ ප්‍රමාණය ද වැඩි බැවින් වැසි ජලය ගලා යෑමට අවහිරතා මතු වී ඇත. ජනාධිපතිතුමාගේ නියමයෙන් ලැබී ඇති ප්‍රතිපාදන යොදාගෙන සියලු බෝක්කු හා පාලම් පළල් කර ඉදිකිරීමට කටයුතු යොදන බව ඒ මහතා වැඩිදුරටත් කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 19507 ක පුද්ගලයන් 94173 ක් අවතැන් වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. බද්දේගම සහ හික්කඩුව ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ඉහළ අගයක් ගෙන ඇති අතර බද්දේගම ප්‍රදේශයෙන් මරණයක් වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නායයාම් දහයක් පමණ සිදු වී ඇත. අවතැන්වූවන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් මේ මොහොත වන විට ලබා දී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

කුරුණෑගල දිසා ලේකම් කුසුම් හෙට්ටිගේ මහත්මිය පැවසුවේ පැය කිහිපයකදී ඇදහැළුණ අධික වර්ෂාව හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගංවතුර ගැලීමේ තත්ත්වයක් ඇති නොවුණු බවය.

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මරණ දෙකක් වාර්තා වුණු බව පැවසූ හෙට්ටිගේ මහත්මිය, එය සිදුවී ඇත්තේ පාසල් ඇරී ගෙදර යමින් සිටි දරුවකු හා මව් කෙනකු ජලයේ ගසාගෙන යෑමෙන් යැයි පැවසුවාය.

මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් අධික වර්ෂාව හේතුකොටගෙන හානි සිදුවූ ස්ථානවල තොරතුරු සෙවීමට ගොස් ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


අවමඟුල් කටයුතුවලට පහළොස්දහස බැගින්

ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රුපියල් පහළොස්දහස බැගින් මුදල් ලබා දීමට රජය පියවර ගෙන ඇත.

මියගිය පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන්දි මුදලක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඉදිරි දින කිහිපයේදී එය ලබා දීමට කටයුතු කරන බවත්, ආපදා කළමනාකරණ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා සඳහන් කෙළේය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සහ තමන් ලෝක ආහාර සංවිධානය සමග සාකච්ඡා කර අවතැන් වූ ජනතාවට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද ෆවුසි ඇමැතිවරයා පැවසීය.

මේ මොහොත වන විට සෑම දිස්ත්‍රික්කයකම අවතැන් වූවන් සඳහා සහන සේවා රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, පුද්ගලයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ජීවිත ආරක්‍ෂක අංශ, නාවික හමුදාව යොදවා ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා