බෙහෙත් හිඟය දින 10කදී සම්පූර්ණයෙන් මඟ හරවනවා

බෙහෙත් හිඟය දින 10කදී සම්පූර්ණයෙන් මඟ හරවනවා

ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නෑ

ඖෂධ මාෆියාවටත් මුහුණ දීමට සිදු වෙලා

සුව ඇමැතිගෙන් ප්‍රතිඥා

ඉදිරි දින දහය ඇතුළත මෙරට ඖෂධ හිඟය සම්පූර්ණයෙන් මඟහැරවීමට කඩිනම් පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

මීට මාසයකට පමණ පෙර ඖෂධ හිඟයක් පැවැති බව තමා පිළිගන්නා බව පැවැසූ ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට ඖෂධ හිඟය සියයට 90ක්ම මඟ හැරවීමට හැකිවී ඇතැයි ද ප්‍රකාශ කෙළේ ය.

ඖෂධ මෙරටට ගෙන්වන ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැති වීම මේ ඖෂධ හිඟයට ප්‍රධාන හේතුවක් වූ බවද ඇමැතිවරයා පැවසීය.

හදිසි අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා විශේෂ නියෝජිත පිරිසක් පෙරේදා ඉන්දියාවට ගිය බව ද ඇමැතිවරයා අනාවරණය කළේ ය.

රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වීම ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න රැසකට හේතු වූ බව පැවසූ ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර මේ ආයතන දෙක එක ආයතනයක් බවට පත් කිරීමට තමා ඉකුත් සතියේදී පියවර ගත් බව ද පැවසුවේ ය.

තමා සෞඛ්‍ය ඇමැතිධූරයේ වැඩ භාරගත් විගස මේ ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කළ බව ද ඉකුත් සතියේ දී එක් සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතට මේ ආයතනය පත් කළ බව ද ඇමැතිවරයා කීවේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ තොරතුරු හෙළි කෙළේ ය.

ඉන්දියානු රජයේ අනුමැතිය ලැබී ඇති ඉන්දියානු සමාගම්වලින් මින් ඉදිරියට මෙරටට ඖෂධ ගෙන්වන බව ද ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවූ ඉන්දියානු සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම සම්පූර්ණයෛන් නතර කරන බව ද සෞඛ්‍ය ඇමැතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ පසුගිය දා සාකච්ඡා කළ බවද ඉදිරියේ දී ඉන්දියානු සෞඛ්‍ය ඇමැතිවරයා හමුවී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා කීය.

මෙරටට අවශ්‍ය සේලයින් මේ රටේම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වසර අවසන් වීමට පෙර අරඹන බව ද ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කළේය.

ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීවේය.

ජනාධිපතිතුමා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම මා වෙත පවරා තවම ගතවී ඇත්තේ සති 3 යි. ජාතික සෞඛ්‍ය සේවයේ වර්ධනය සඳහා මහින්ද චින්තනයට අනුකූලව පුළුල් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මා මේ තනතුර භාර ගන්නා විටම මාධ්‍යයන්ගෙන් සහ ඖෂධ සැපයුම් අංශවලින් ඖෂධ හිඟයක් පිළිබඳ මට දැනගන්නට ලැබුණා.

මම වහාම ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට විශේෂ කමිටුවක් පත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කමිටුව මගේ සභාපතිත්වයෙන් තෙවරක් මේ වනවිට රැස්වුණා. ඖෂධ හිඟයට විසඳුම් සෙවීමට කඩිනම් පියවර ගැනීමට මේ වනවිට අපට හැකි වී තිබෙනවා.

අමාත්‍යාංශයට අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම බොහෝ ප්‍රශ්නවලට හේතු වන බව පෙනී ගොස් තිබෙනවා. එම සම්බන්ධීකරණය කඩිනමින් ඇති කළ යුතුයි.

ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් මේ වනවිට පත් කර තිබෙනවා. ඉදිරි සතියේ දී එම කාර්ය සාධක බළකාය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස් වෙනවා.

රෝහල්වල රෝහල් කමිටු සක්‍රීය කිරීමටත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා.

ඖෂධ සහ අවි ආයුධ වෙළඳාමේදී විශාල වෙළඳ මාෆියාවකට මුහුණපෑමට සිදුවෙන බව අප හැම දන්නා කරුණක්. අපටත් ඖෂධ මිලදී ගැනීමේදී මේ ජාත්‍යන්තර වෙළඳ මාෆියාවට මුහුණපෑමට සිදු වෙනවා. ඖෂධ ගෙන්වීම සහ මිලදී ගැනීම පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මේ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා. අනෙක් අයගේ වැඩකටයුතු පිළිබඳ සොයා බලනවා වෙනුවට මාගේ වගකීම් ඉටු කිරීමටයි මා බලාපොරොත්තු වන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වන විෂයයක්. දේශීය මෙන්ම ජාත්‍යන්තර කරුණු කාරණා මේ සඳහා හේතු වෙනවා. මේ දිනවල පවතින අයහපත් දේශගුණය පවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා. මේ හැම අභියෝගයකටම සෞඛය කාර්ය මණ්ඩලය සමඟ සාර්ථකව මුහුණ දීමට මා බලාපොරොත්තු වනවා.

වෘත්තීය සමිති සමඟ ඉතා සුහදශීලීව කටයුතු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. හැම දෙනාටම සාධාරණත්වය ඉටු කිරීම අපගේ වගකීමයි.

අනුර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයට අදාළ කරුණු මීට මාසයකට පමණ පෙර පැවැති තත්ත්ව සැලකිල්ලට ගෙන මතු කළ බවයි පෙනී යන්නේ. අත්‍යවශ්‍ය ඖෂධ හිඟයට ජනාධිපතිතුමන් සහ ආරක්ෂක ලේකම්වරයාගේ සහය ඇතිව කඩිනම් විසඳුම් ලබා දුන්නා. මේ වනවිට ඒ ප්‍රශ්නය 90% ක් විසඳා අවසන්. ඉදිරි දින 10 ඇතුළත සම්පූර්ණ විසඳුම් ලබා දෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා