“බුදුසරණ” කථික තරගය ජුනි 5 වැනිදා මිහින්තලේදී

“බුදුසරණ” කථික තරගය ජුනි 5 වැනිදා මිහින්තලේදී

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හතළිස්අට (48) වැනි වතාවටත් සංවිධාන කරන මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත්පත අනුග්‍රහයෙන් පවත්වන කථික තරගය ජුනි මස 5 දින මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

‘බුදුසරණ’ පුවත්පත – ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලේක්හවුස් බෞද්ධ සංගමය අනුග්‍රහයෙන් ‘බුදුසරණ’ කථික තරගය පවත්වනු ලබයි.

ජයග්‍රාහකයිනට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය – ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය සහ බුදුසරණ සම්මානය ප්‍රදානය කෙරේ. ජයගන්නා මුල් තිදෙනාට රුපියල් දහදහස (10000/-) රුපියල් හත්දහස් පන්සීය (7500/-) සහ රුපියල් පන්දහස (5000/-) බැගින් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මුදලින් ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ. හතරවැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා මුදලින් රුපියල් දහස (1000/-) බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ.

උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මීට සහභාගී විය හැකි අතර හය වසරේ සිට නමය වසර දක්වා ඉගෙනුම ලබන අයට කනිෂ්ඨ අංශයේ තරග සඳහාද, දහය වසරේ සිට දහතුන වසර දක්වා අයට ජ්‍යෙෂ්ඨ අංශයේ තරග සඳහාද සහභාගී විය හැකිය.

සියලු ත්‍යාග සහ කුසලාන පිරිනැමීම ලබන ජුනි මස පොසොන් පොහොය දින මිහින්තලාවේ සිදුකෙරේ.

කථික තරග සඳහා ඇතුළත් වීමට කැමැති සිසුන් ලබන මැයි මස 25 වැනි දිනට ප්‍රථම ‘බුදුසරණ’ – කර්තෘ - ලේක්හවුස් - කොළඹ – 10 යන ලිපිනයට අයැදුම් පත් එවිය යුතුය. අනුරාධපුර ලේක්හවුස් ශාඛා කාර්යාලයට ද බාරදිය හැකිය. කවරයේ වම්පස උඩ කෙළවරේ කථික තරගය – බුදුසරණ – 2010 යනුවෙන් ලියා ඉල්ලුම් පත්‍ර බාරදිය යුතු බව අනුරාධපුර ලේක්හවුස් ශාඛා කළමනාකරු ඩබ්ලිව්. එස්. පී. පෙරේරා මහතා ‘දිනමිණ’ට පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා