‘නැණස’ තක්සලාව ශිෂ්‍යත්ව අතිරේකයත් වැඩමුළු මාලාවත් විභාගයට මහඟු අත්වැලක්

දිනමිණ පුවත්පත සමඟ නිකුත් කරන

‘නැණස’ තක්සලාව ශිෂ්‍යත්ව අතිරේකයත්
වැඩමුළු මාලාවත් විභාගයට මහඟු අත්වැලක්

දිනමිණ පුවත්පත සමඟ නිකුත් කරන ‘නැණස’ තක්සලාව ශිෂ්‍යත්ව අතිරේකය 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මහඟු අත්වැලක් සපයන්නේ් යැයි ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ විශ්ව අසේනිය තෙන්නකෝන් සහ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහලේ 5 වසර ඉගෙනුම ලබන රන්ගීව විමන්ස ජයවර්ධන සිසුහු පවසති.

‘දිනමිණ’ පුවත්පත වැඩිහිටියන්ට දැනුම ලබාදෙන පුවත් පතක් වුවද 5 වසර ශිෂ්‍යත්වයට සූදානම් වන දරුවන්ටද විශාල පිටිවහලක් ලබාදෙන බවද ‘දිනමිණ’ පුවත් පතේ ළමා පිටුව ඔවුන්ට දැනුම විනෝදය රැගෙන එන බවද එම සිසුවෝ පවසති.

ශිෂ්‍යත්ව වැඩමුළු පවත්වා තමන්ව දැනුම්වත් කරන ‘දිනමිණ’ පුවත්පත ප්‍රශ්න ඉදිරිපත් කර ජයග්‍රාහකයන්ට තිළිණ ලබාදීමෙන් ඔවුහු ධෛර්යමත් කිරීම අගයන බවද ජයග්‍රාහී සිසුවෝ කියති.

දිනමිණ පුවත්පත සංවිධානය කරන මන්චි – නැණස දිනමිණ 5 වසර ශිෂ්‍යත්ව වැඩමුළුව නයිවල - වේයන්ගොඩ පැවැත්විණි. එම වැඩමුළුවට සහභාගි වී එහිදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ජයග්‍රහණය කළ සිසුන් දෙදෙනා ජයග්‍රාහීන්ට පොත් පාර්සල් තිළිණ කළ උත්සවයේදී එසේ පැවැසූහ.

නිට්ටඹුව ගංගා පොත්හලේදී මෙම පොත් ප්‍රදානය ඉකුත්දා පැවැත්වුණේ. දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතාගේ සහ ගංගා පොත්හල අධිපතිනි රමණී නාරංගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවේදී දිනමිණ සමඟ අදහස් දැක්වූ විශ්ව අසෙනිය සිසුවාගේ පියා වන යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ කිඩගම්මුල්ල ගම්පහ පදිංචි වර්ණසිරි තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.

‘දිනමිණ’ පුවත්පත ඉතාම පැරැණි පුවත්පතක් ලෙස මෙවන් සමාජ මෙහෙවරයන් ඉටු කිරීම ඉතා හොඳ දෙයක්.

අපේ දරුවන්ටත් දිනමිණ පුවත්පත මගින් 5 වසර ශිෂ්‍යත්ව අතිරේකයක් ලබාදෙනවා. ඒ වගේම ඔවුන් එහි දැනුම ලබාගන්නවා. ඒවගේම ලේක්හවුස් ආයතනය දිනමිණ පුවත්පත ශිෂ්‍යත්ව වැඩමුළුද පවත්වනවා. මෙය අනෙක් සියලු දෙනාටම ආදර්ශයක්.

වේයන්ගොඩ නයිවල පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව දිනමිණ - මන්චි නැණස වැඩමුළුව සඳහා දරුවන් දහස් ගණනක් සහභාගි වී සිටියා. මගේ දරුවන් ප්‍රශ්නවලට උත්තර දුන්නා. එහිදී දිනමිණ පුවත්පත පොත්පත් ත්‍යාග පාර්සල් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙය හොඳ වැඩක්. ඉන් දරුවන් දිරිමත් වෙනවා. මම ලේක්හවුස් ආයතනයට මෙන්ම දිනමිණ පුවත්පතට ස්තුතිවන්ත වෙනවා.

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා - සියවැනි වසර උපන් දිනය සමරන දිනමිණ පුවත්පත සැමදාමත් දරුවන්ගේ අධ්‍යාපනයට තෝතැන්නක් වුණා.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට වඩා වෙහෙසෙන්නේ දෙමාපියන්. දරුවන් හොඳ ජනපි‍්‍රය පාසලකට ඇතුළත් කර ගැනීම මෙම විභාගය සඳහා වෙහෙසීමේ එක් අරමුණක්.

දිනමිණ පුවත්පත සැමවිටම හරවත් යමක් ලබාදීමට වෙහෙසෙන අතර මෙය ඉන් එක් අංගයක්. මෙම දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට සමාර්ථයක් ලැබේවායි පතනවා.

නිට්ටඹුව ගංගා පොත්හලේ අධිපතිනි රමණී නාරංගොඩ මහත්මිය - වසර 40 කට ආසන්න කාලයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් නියෝජිතයකු ලෙස කටයුතු කරනවා. දිනමිණ පුවත්පත සැමවිටම නිවැරැදි යමක් කරන පුවත්පතක්.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දිනමිණ පුවත්පත විවිධ වැඩසටහන් සිදුකරනවා. මමත් දහම් පාසල් ගුරුවරියක්.’ මම ඉතා සතුටට පත්වෙනවා මේ සඳහා දායකවීමට ලැබීම ගැන. දරුවන්ට වැඩමුළු පවත්වා ඔවුන් දිරිගැන්වීමට පොත්පත් පවා පිරිනමමින් දිනමිණ ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක වේවා කියා පතනවා.

මෙම දරුවන්ට පොත් පාර්සල් පිරිනැමීම සඳහා අනුග්‍රාහය දක්වා ඇත්තේ මන්චි ආයතනය මගිනි.

මෙම අවස්ථාවට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බෙදාහැරීමේ නියෝජ්‍ය කළමනාකරු අසෝක විජේසේකර, ප්‍රාදේශීය ක්ෂේත්‍ර නිලධාරී කපිල ෆර්ඩිනැන්ඩස්, ගංගා පොත්හලේ සමන් නාරංගොඩ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා