තායිලන්ත රතු කමිස නායකයෝ යටත් වෙති

තායිලන්ත රතු කමිස නායකයෝ යටත් වෙති

සති හයක කාලයක් තිස්සේ පැවැති තායිලන්ත රාජ්‍ය විරෝධී අරගලය ඊයේ නිමා වූයේ රතු කමිස ධාරී නායකයන් පොලිසියට යටත් වීමත් සමඟය.

රතු කමිස ධාරී රාජ්‍ය විරෝධීන් බැංකොක් අග නගරයේ ඉදි කැර තිබුණු බාධක කඳවුරු තුළට ඊයේ උදේ හමුදා සන්නද්ධ රථ ඇතුළු වීමත් සමග අරගල නායකයන් සිවු දෙනකු පමණ පොලීසියට බාර වී ඇත.

කඳවුර අත් හැර ඉවත්ව යන ලෙසත් අග නගරයෙන් බැහැර වීම සඳහා රජයෙන් බස් රථ යොදවා ඇති බවත් නායකයෝ සිය අනු ගාමිකයන්ට ප්‍රකාශ කළහ. පොලිස් අත් අඩංගුවේ පසුවන ජ්‍යෙෂ්ඨ නායකයකු වන ‘නට්ටාවුට් - සායිකෝර්’ රූපවාහිනියට පවසා ඇත්තේ තම අනුගාමිකයින්ට කඳවුරු බිමින් ඉවත්ව ගම් බිම් බලා යන ලෙස ඉල්ලා සිටි බවය. ගම් බිම් බලා යන හැමට පොලිස් ආරක්ෂාව සැලසෙන බවත් ආරක්ෂිතව ඔවුන් ගම් ප්‍රදේශ වලට යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.

මීට කලින් කඳවුරු බිමේදී හැඟුම්බර අනුගාමිකයන් හමුවේ කඳුළු පිරි දෙනෙතින් යුතුව නායකයින් කියා සිටියේ තවදුරටත් පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීම වළකාලීම සඳහා නොකමැත්තෙන් වුව සටන අත්හරින බවය.

‘හමුදාව කඳවුර ආක්‍රමණය කළ විට තව බොහෝ මරණ සිදු විය හැකියි. එය එසේ වනු දැකීමට අපට ඉහිලිය නොහැකියි. අපේ තීරණය ඔබ බොහෝ දෙනකු නොපිළි ගන්නවා විය හැකි නමුත් ඔබේ ජීවිත වෙනුවෙන් හා ආරක්ෂාව වෙනුවෙන් අපේ නිදහස පරදුවට තබමු’ යැයි ඔවුහු කීහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා