ශ්‍රී ලංකා - හොංකොං ඩේවිස් කුසලාන ටෙනිස් අද සිට

ශ්‍රී ලංකා - හොංකොං ඩේවිස් කුසලාන ටෙනිස් අද සිට

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගය අද ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ආසියා - ශාන්තිකර කලාපයේ දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මෙයට පෙර නවසීලන්තය සමග තරගය 3 – 2ක් ලෙස පරාජය වීම හේතුවෙන් එම කාණ්ඩයෙන් පහළට වැටීම වළක්වා ගැනීමට හොංකොං සමඟ තරගය අනිවාර්යයෙන් ම ජයගත යුතුව ඇත.

හොංකොං වසර ගණනාවකදීම ආසියා ශාන්තිකර කලාපයේ 2වැනි කාණ්ඩයෙන් පහළට වැටී නොමැත. එහෙයින් හොංකොං - ශ්‍රී ලංකා තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාව හා හොංකොං අතර 1983 ශ්‍රී ලංකාවේ පැවැති ටෙනිස් තරගයකදී ශ්‍රී ලංකාවට ජය හිමි වූ අතර 1991 දී හොංකොංහි පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 2005 දී ද හොංකොං වෙතින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ශ්‍රී ලංකා පිලේ හර්ෂණ ගොඩමාන්න හා රජිව් රාජපක්ෂ පළපුරුදු ක්‍රීඩකයන් වන අතර 2002 සිට ඩේවිස් කුසලාන තරගවලට එක්ව ඇත. අමිරිත් රූපසිංහ 2006 දී පළමුවරට ඩේවිස් කුසලාන තරගවලට එක් වූ අතර දිනේෂ් කාන්තන් මෙවර ඩේවිස් කුසලාන තරගාවලියට මුල්වරට එක්වේ. ශ්‍රී ලංකා පිලේ කාර්ය නියමයක් නොමැති නායකයා ලෙස ආසිරි ඉද්දමල්ගොඩ නම් කර ඇති අතර එන්රිකෝ පිටේර්නෝ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා