ලෝක පාපන්දු සූරතා ඉතිහාසය ස්පාඤ්ඤය අලුතින් ලියයි

ලෝක පාපන්දු සූරතා ඉතිහාසය ස්පාඤ්ඤය අලුතින් ලියයි

ස්පාඤ්ඤ
ක්‍රීඩකයන් සතුටින් උද්දාමයට පත්ව

ජර්මනිය සමඟ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් පූර්ව තරගයේ දෙවැනි භාගයේදී ස්පාඤ්ඤයේ කාර්ලස් පුයෝල් රැස් කළ තරගයේ එකම ගෝලය නිසා තුන්වරක් ලෝක පාපන්දු කිරුළ දිනූ ජර්මනිය පරදවා ඉතිහාසයේ පළමු වතාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.

යුරෝපා පාපන්දු තරගමාලාවේ සූරයින් වන ස්පාඤ්ඤය, දෙවතාවක් ලෝක පාපන්දු තරගමාලාවේ අනු සූරයන් වන නෙදර්ලන්තය සමග 2010 පාපන්දු කිරුළ පතා ලබන ඉරිදා (11) ජොහැනස්බර්ග් නුවර පාපන්දු පිටියේ දී තරග වැදීමට නියමිතය.

ලෝක පාපන්දු තරගමාලා ඉතිහාසයේ කිසිදු තරගයකදී මුහුණට මුහුණ ලා තරග නොවැදුණු ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තයේ මංගල හමුව අවසන් මහා තරගයකදී සිදුවනු ඇතැයි කිසිවකු බලාපොරොත්තු වූයේ නැත. ජර්මනියට එරෙහිව ස්පාඤ්ඤයේ පුයෝල් විසින් ගෝලය වාර්තා කරනු ලැබුවේ තරගයේ 73 වැනි මිනිත්තුවේදීය. ඒ වනතුරු දෙපිලම කරට කර තියුණු සටනක නිරත වෙමින් සිටියහ.

ස්පාඤ්ඤයට මගේ සුභ පැතුම්. ඔවුන් මෙවර සූරතාව දිනනු ඇතැයි මං විශ්වාස කරනවා. පසුගිය වසර 3 – 4 කාලය තුළ ස්පාඤ්ඤය ලෝක පාපන්දු පිටියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වුනා. “ ජර්මානු පිලේ පුහුණුකරු ජෝකිම් ලෝ තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

ජර්මානු පිලේ නැගී එන තරුව වූ තෝමස් මුලර් නොමැතිව තරග වැදුනු ජර්මානු කණ්ඩායමේ මිරොස්ලව් ක්ලෝස් වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබිණි. ස්පාඤ්ඤයේ තරග රිද්මයට අනුව තරගකාරීත්වයක් ලබාදීමට නොහැකිව පීඩනයට හසුවූ ජර්මානු පිලට 73 වැනි මිනිත්තුවේදී අවාසනාව උදාකර දීමට ස්පාඤ්ඤ පිලේ පුයෝල් සමත් විය.

ස්පාඤ්ඤ පිල අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් සමග එරට උත්සවශ්‍රීයෙන් ඇළලී ගියේය. ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු ප්‍රීතිඝෝෂා නගමින් වීදි පුරා ඇවිද යන්නට පටන් ගත් බව එරට මාධ්‍ය සඳහන් කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා