ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අවසන් පූර්ව ගැටුම අද

ආසියානු යොවුන් නෙට්බෝල්

ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අවසන් පූර්ව ගැටුම අද

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අවසන් පූර්ව තරගය අද නවදිල්ලි නුවර ත්‍යාගරාජ් ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 69 - 49 කින් පරාජයට පත් විය.

ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග 5 කට සහභාගි වී තරග 3 ක් ජය ගත් අතර මලයාසියාවට ද ලකුණු 59 - 45 කින් පරාජය විය. ඉන්දියාවට එරෙහිව ලකුණු 47 - 34 කින්, තායිලන්තයට එරෙහිව ලකුණු 67 - 39 කින් හා හොංකොං පිලට එරෙහිව ලකුණු 60 - 33 කින් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. ශ්‍රී ලංකාව තරග 5 කදී ලකුණු 268 ක් ලැබූ අතර සිංගප්පූරුව ලකුණු 295 ක් ලබා ගත්තේය. සියලුම තරග ජය ගත් මලයාසියාව ලකුණු 395 ක් ලබාගෙන සිටී.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුව පරාජය කළහොත් මලයාසියාව හා ඉන්දියාව අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයේදී මුණගැසේ. පසුගිය ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ සූරතාව මලයාසියාව දිනාගත් අතර අනුසූරතාව ශ්‍රී ලංකාවට හිමිවිය. ආසියානු නෙට්බෝල් තරග ඉතිහාසයේ ප්‍රථම වරට ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීම විශේෂත්වයකි. ඉන්දියාව 2008 වසරේ අවසන් ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේදී 7 වැනි ස්ථානයට පත් විය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා