රුහුණේ උප කුලපතිට සරසවි සිසුන්ගෙන් ප්‍රහාර

සිසු ගැටුමක් සොයා බැලීමට ගිය

රුහුණේ උප කුලපතිට සරසවි සිසුන්ගෙන් ප්‍රහාර

ශිෂ්‍ය උපදේශකයකුටත් පහර දීලා

මහාචාර්ය
සුසිරිත් මෙන්ඩිස්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතාට සරසවි සිසුන් පිරිසක් ඊයේ (20) උදෑසන පහරදී ඇත. මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක සමන් චන්දන මහතාටද පහර දී ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය.

මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පිළිබඳව සොයා බැලීමට යමින් සිටි අවස්ථාවේ තමන්ට පහර දුන් බව උප කුලපතිවරයා මාතර පොලිසියට පවසා තිබේ.

මෙහිදී එක්සිසුවෙකු තමාට පොල්ලකින් දමා ගැසූ බවද ඔහු පවසා ඇත.

තුවාල ලැබූ උපකුලපතිවරයා මාතර මහ රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය. ඉකුත් දින කිහිපයේ මහා ශිෂ්‍ය සංගමය හා විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය අතර නිරන්තර ගැටුම් කාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර සිසුන් දෙපිරිස අතර පෙරේදා (19) ඇතිවූ ගැටුම් වලින් තුවාල ලැබූ සිසුන් 7 දෙනෙක් මාතර මහ රෝහලට ඇතුළත් කරණු ලැබ සිටිති.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් සරසවියේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවට රුහුණු සරසවියේ සිසුහු චෝදනා කරති.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පද්මසිරි මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එම්. එන්. හේරත් මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරි කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු මෙහෙයවති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා