මොණරාගල ඉඩම් කිසිදු විදේශිකයකුට හෝ විදෙස් සමාගමකට ලබාදෙන්නේ නැහැ

මොණරාගල ඉඩම් කිසිදු විදේශිකයකුට හෝ විදෙස් සමාගමකට ලබාදෙන්නේ නැහැ

නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මොණරාගල දිස්ත්‍රික්කයේ එක බිම් අඟලක්වත් කිසිදු විදේශිකයකුට හෝ විදේශීය සමාගමකට හෝ ලබා නොදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සහතික විය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර පනස් දහසක් විදේශීය සමාගමකට පවරා දීමට රජය ක්‍රියා කරන බවට කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද මොණරාගල දිස්ත්‍රික්කයේ බිම් අඟලක්වත් කිසිදු විදේශීය සමාගමකට ලබා නොදෙන බවද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ රටේ දුප්පත්ම දිස්ත්‍රික්කය ලෙස සැලකෙන මොණරාගල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ සැළැස්මක් රජය මගින් ක්‍රියාත්මක කරන බව පැවසූ ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ අනුව දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම් මිනුම් කර දේශීය ආයෝජකයන්ට ඒවා සංවර්ධනය කිරීමට ලබාදීමට රජය බලාපොරොත්තු වන බවද කීය.

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මගින් නම් කළ සංවර්ධනය නොවූ මුඩු ඉඩම්වල ලේඛනයකට අනුව එම ඉඩම්වල මැනුම් කටයුතු දැනටමත් සිදු වන බවද නිවාස තිබෙන, ඉඩම් ඔප්පු හිමිකරුවන් සිටින වගා කළ කිසිදු ඉඩමක් මෙම වැඩපිළිවෙළට ඇතුළත් නොකර ගන්නා බවද ඇමැතිවරයා කීවේය.

අක්කර 500ට වැඩි කිසිදු ඉඩමක් බදු දිය නොහැකි බව පැවසූ ඇමැති ලක්ෂ්මන් යාපා මහතා එබැවින් වගා නොකළ මුඩු ඉඩම් භෝග වගාව සඳහා ආයෝජකයන්ට ලබා දීම සඳහා විධිමත් වැඩපිළළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කීය.

මේ සඳහා ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළකළ බව පැවසූ ඇමැතිවරයා විශේෂ කොන්දේසි සහිතව දේශීය ආයෝජකයන්ට පමණක් මෙම ඉඩම් ලබා දෙන බව අවධාරණය කළේය.

ඉඩම් කොමසාරිස් ජනරාල් වරයා හරහා මෙම ඉඩම් නිදහස් කරන බව පැවසූ ඇමැතිවරයා අවට සිටින ගොවි ජනතාව සම්බන්ධ කර ගැනීම අවම වශයෙන් රැකියා 250ක් වත් ලබා දීම රුපියල් මිලියන 50 කට වැඩි මුදලක් ආයෝජනය කළ යුතු වීම ඇතුළු ජනතාවට හිතකර කොන්දේසි රැසක් මීට ඇතුළත් වන බව ද කීවේය.

මොණරාගල දිස්ත්‍රික්කයේ කිසිදු වැසියෙකුගේ ඉඩම් මේ සඳහා යොදා නොගන්නා බව ඇමැතිවරයා අවධාරණය කළේය.

සභාව කල් තබන අවස්ථාවේදී මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා යොමු කළ යෝජනාවේ පිළිතුරු කතාව කරමින් ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා