ජවිපෙට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනකු මරාදමා හෝ තම බලය රැකගැනීමටයි

ජවිපෙට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනකු මරාදමා හෝ තම බලය රැකගැනීමටයි

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු මරා දමා හෝ තමන්ගේ බලය රැක ගැනීමට බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. මේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නවක සිසුන් උද්ඝෝෂණ, පිකටින් ආදියට මෙන්ම පහර දීම්වලට ද යොදා ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කරයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පහර දීම පිටුපස ද ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් සිටින බවත් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් වන ශිෂ්‍යයින් විශ්වවිද්‍යාලයෙන් අස් කර දමන බවත් දිසානායක මහතා ඊයේ (20) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේය.

ඉකුත් දා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් වැඩි දෙනා නවක සිසුන් බවත් එම සිසුන්ට නවකකවදය දී බිය ගන්වා එම අවස්ථාවට සහභාගි කරවා ගෙන ඇති බවට තොරතුරු තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

දැනට බන්ධනාගාර ගතව සිටින එම සිසුන් ඒ බව සඳහන් කර ලිපියක් ලියා මවුපියන්ගේ මාර්ගයෙන් තමන්ට ලබා දුන් බවද හෙතෙම කීවේය. විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණට පැවැති බලය අද වන විට ගිලිහෙමින් තිබෙන බවත් එය රැකගැනීම උදෙසා නවක සිසුන් මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ කරවා ගන්නා බවත් දිසානායක මහතා පැවැසීය. විශ්වවිද්‍යාල සිසුන්ගේ මවුපියන් අද මේ තත්ත්වය හොදින් අවබෝධ කරගෙන සිටින බවද කීවේය.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා සිසුන්ට බස්රථ ලබා දීමෙන් ප්‍රවේශම් වන ලෙසද ඇමැතිවරයා මෙහිදී බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කෙළේය. බස් රථ හිමියන් පිළිබඳව මවුපියන් කෙරෙහි දැඩි විරෝධයක් තිබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය.

මෙහිදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවෙන්, පළාත් සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන් මෙන්ම වෘත්තීය සමිති මට්ටමින්ද අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ බලය ගිලිහී ගොස් ඇති බවයි.

දැඩි වගකීමෙන් යුතුව උපක්‍රමශීලීව විධිමත් සැලසුමක් ඇතුව කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා