විදෙස් මානව හිමිකම් කණ්ඩායම්වල විවේචන සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා

විදෙස් මානව හිමිකම් කණ්ඩායම්වල විවේචන සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා

-ඇමැති ජී.එල්. පීරිස්

යුද ගැටුම් පැවැති කාල සමයේ සිදු වූ සිද්ධීන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ කරුණු දැක්වීම සඳහා විදෙස් මානව හිමිකම් කණ්ඩායම්වල පැමිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව කර ඇති විවේචනයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා රජය සඳහන් කරයි.

මේ විමර්ශන කමිටුව පත් කිරීම ශ්‍රී ලංකාවේ වැරැදි වසා ගැනීම සඳහා සිදු කළ එකක් බවට ඔවුන් ප්‍රකාශ කර ඇති අතර නිව්යෝර්ක් හි හියුමන් රයිට් වොච් සංවිධානය, ලන්ඩන්හි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය හා බ්‍රසල්ස් හි ඉන්ටර්නැෂනල් ක්‍රයිසිෂ් ගෲප් ආයතන ශ්‍රී ලංකාවට මෙම චෝදනා එල්ල කර ඇති බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

යටත් විජිතවාදී ස්වරූපයකින් ශ්‍රී ලංකාවට විවේචන එල්ල කර ඇති අතර එමඟින් අනපේක්ෂිත ආකල්ප පෙන්නුම් කර තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ගයක් සකසා ගැනීමට අසීරු වීම හේතුවෙන් ඒ සඳහා සෙසු අයගේ සහාය ශ්‍රී ලංකාවට ලබාදිය යුතුයි යන ආකල්පයක් ඒ තුළ ගැබ් වී තිබෙන බවද පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකාව වැනි රටවල පිහිටුවා ඇති සංහිඳීයා කමිටුවල ක්‍රියාකාරිත්වය සේම ශ්‍රී ලංකාවද කටයුතු කර ඇතැයි පවසන ඒ මහතා එම නිසා මානව හිමිකම් සංවිධාන වලින් හා ශ්‍රී ලංකාවෙන් බැහැරව පිහිටුවා ඇති දමිළ සංවිධානවලින් මෙලෙස සෘණාත්මක ආකාරයට කටයුතු නොකරන ලෙසද ඉල්ලා සිටී.

මෙවැනි අවස්ථාවල දී ධනාත්මක ආකාරයේ ආරම්භයක් ගත යුතුව ඇතැයි පෙන්වා දෙන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එමඟින් අනාගත බලාපොරොත්තු තහවුරු කර ගත හැකි බවද කියා සිටී.

ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වනු ඇතැයි උපකල්පනය නොකළ යුතු බවත් මේ කාර්යයේදී සාර්ථකත්වය කරා ගමන් කරන බවත් ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා