පේරාදෙණිය විශ්වවිද්‍යාල විද්‍යාපීඨය දින නියමයක් නොමැතිව වසයි

පේරාදෙණිය විශ්වවිද්‍යාල විද්‍යාපීඨය දින නියමයක් නොමැතිව වසයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ඊයේ (20දා) සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ සභාව මගින් තීරණය කැර තිබේ. යතුරුපැදි දෙකකින් පැමිණි සිසුන් හතර දෙනෙකු විද්‍යාපීඨ සිසුන් කිහිපදෙනෙකුට ඊයේ (20) පෙරවරුවේ පහර දීමෙන් එක් සිසුවෙකු තුවාල ලැබීමත් සමග විශ්වවිද්‍යාලය තුළ වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පීඨය වසා දැමීමට තීරණය කැර තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් හතර දෙනා බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇතැම් සිසුන් පන්ති වර්ජනය කැර විරෝධතාවයේ නියැලී සිටියහ. එම අවස්ථාවේදී විද්‍යාපීඨයේ සිසුන් පිරිසක් දේශනා සඳහා සහභාගී වීමට ගොස් එමින් සිටියදී යතුරුපැදිවලින් පැමිණි සිසුන් මුව ආවරණය කළ හිස් ආවරණ දමා පැමිණ මේ පහරදීම සිදු කැර තිබේ.

මේ පහරදීම සිදුකළ සිසුන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට අදාළ වැඩිදුර පරීක්ෂණ පේරාදෙණිය පොලිසිය මගින් සිදුකෙරේ. විද්‍යාපීඨය වසා දැමීමෙන් පසුව නේවාසිකාගාරයේ සිසුන්ට ඉන් ඉවත් වන ලෙස විද්‍යා පීඨයේ පීඨාධිපති පරාක්‍රම කරුණාරත්න මහතා සිසුනට දැනුම් දී තිබේ.රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයද ඉකුත් 14 දා සිට වසා දමා තිබේ. පීඨ සභාවේ මේ තීරණය සම්බන්ධව උපකුලපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක්ද ඊයේ පස්වරුවේ පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා