මූලික විමර්ශන අවසන් වනතුරු කේ. පී. හමුදාව බාරයේ

මූලික විමර්ශන අවසන් වනතුරු කේ. පී. හමුදාව බාරයේ

එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර අංශයේ නායකයා ලෙස හඳුන්වනු ලබන කුමරන් පද්මනාදන් (කේ.පී.) සම්බන්ධ මූලික විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු ආරක්ෂක හමුදා භාරයේ රඳවා සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය.

මූලික විමර්ශන තවදුරටත් කරගෙන යන අතර එහිදී ඉදිරිපත් වූ කරුණු තහවුරු කර ගැනීමට ඔහු වන්නි ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවද පැවසූ ඇමැතිවරයා වන්නි ප්‍රදේශයේ සංචාරයකට රැගෙන ගොස් නැතැයි ද අවධාරණය කෙළේය.

සිදුකැරෙන පරීක්ෂණ පිළිබඳ වැඩි විස්තර ප්‍රකාශ කිරීම ජාතික ආරක්ෂාවට මෙන්ම දැනටමත් ජාත්‍යන්තර බුද්ධි අංශ හා මෙරට බුද්ධි අංශ ඒකාබද්ධව කරගෙන යනු ලබන බුද්ධි ක්‍රියාකාරකම්වල රහස්‍ය භාවයට බාධාවක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ කුරුණැගල දිස්ත්‍රික් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අසා තිබූ ප්‍ර‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් ශ්‍රී ලංකාව තුළදී 2009 මැයි මස සම්පූර්ණයෙන් පරාජයට පත් වුවද, එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය ඒ ආකාරයෙන්ම තම කටයුතුවල නියැලෙමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට උත්සාහ දරමින් සිටියි. මේ පසුබිම මත ආරක්ෂක අමාත්‍යාංශය ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට සැලසුම් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුමරන් පද්මනාදන් ඇතුළුව සමහර ප්‍රධාන එල්.ටී.ටී.ඊ. විදේශ ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ රජයට හැකියාව ලැබුණි.

තවද, මෙලෙස අත්අඩංගුවට පත් වූ ප්‍රධාන පෙළේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකරුවන්ගේ තොරතුරු හා වන්නි මානුෂිය මෙහෙයුම් සිදුකරන අවස්ථාවේදී සොයාගන්නා ලද එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් සම්බන්ධ වැදගත් ලියකියවිලි රාශියක් පදනම් කරගෙන එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ජාලය දුර්වල කිරීමේ හා එම වත්කම් ලබා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් පවතී. මෙහිදී විශේෂයෙන් ම එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව ඇති සමහර රාජ්‍යන්වල හා ඔවුන්ගේ බුද්ධි අංශ සමඟ මෙරට බුද්ධි සේවා සමීප සම්බන්ධතා පවත්වමින් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවති. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් නීති විරෝධී එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ක්‍රියාකරුවන් ගණනාවක් එම රටවල් තුළදීම අත්අඩංගුවට පත්වී ඇති අතර, අනිකුත් අයවළුන්ද අත්අඩංගුවට ගැනීම පිණිස විමර්ශනයන් සිදුකෙරෙමින් පවතී. තවද මේ කි‍්‍රයාවලියන් තුළින් සමහර එල්.ටී.ටී.ඊ. වත්කම් රජයට අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණි යැයිද ඇමැතිවරයා කීවේය.

කරුණු එසේ හෙයින් මේ පිළිබඳව වැඩි විස්තර ප්‍රකාශ කිරීම ජාතික ආරක්ෂාවට මෙන්ම දැනටමත් ජාත්‍යන්තර බුද්ධි අංශ හා මෙරට බුද්ධි අංශ ඒකාබද්ධව කරගෙන යනු ලබන බුද්ධි ක්‍රියාකාරකම් වල රහස්‍ය භාවයට බාධාවක් වනු ඇත.

කෙසේ වුවත් සමහර අවස්ථාවන් වලදී මෙසේ අත්අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ නායකයින් සහ එල්.ටී.ටී.ඊ. වත්කම් පිළිබඳව විටින් විට රජය විසින් ඉදිරි ක්‍රියාන්විතවලට බාධාවක් නොවන අයුරින් ප්‍රකාශයට පත්කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව දැඩි වගකීමෙන් යුතුව උපක්‍රමශීලීව විධිමත් සැලසුමක් ඇතුව කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා