වෑන් රිය පැදවූ සැකකාර රියැදුරා 28 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්

කොකිස්කඩේ හන්දියේ මාරක රිය අනතුර

වෑන් රිය පැදවූ සැකකාර රියැදුරා 28 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්

කොළඹ-නුවර පාරේ කොකිස්කඩේ හන්දියේදී මාර්තු 13 දින රාත්‍රී සිදු වූ යතුරුපැදිය වෑන්රියේ ගැටී තිදෙනෙකු මියයාමේ සිද්ධියේ වෑන්රථයේ රියදුරු වූ වසන්ත කුමාර හේරත් යන අය රිමාන්ඩ් භාරයේ සිට ඊයේ (21) දින ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ පො.ප. පි‍්‍රයන්ත මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ මහත් ජන උද්ඝෝෂණයක් සමඟ යම් යම් සාමයට බාධාවන සිද්ධීන් ද සිදු වූ බවත් සැකකරුට ඇප ලබාදීමෙන් ප්‍රශ්න තවත් ඇති විය හැකි බවද පැවැසීය. එසේම අදාළ වෑන් රථයේ අංකයේ සහ චැසි අංකයද ව්‍යාජ බවට හෙළි වී ඇති බැවින් ඒ පිළිබඳවද සොයා බලන බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මානෙල් කරුණානායක සහ නීතිඥ සමන්තා ඒකනායක මහත්මියන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා දෙන ලෙසය.

විත්තියේ හා පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා සැකකරු තවදුරටත් මාර්තු 28 දින දක්වා රක්ෂිත රිමාන්ඩ් භාරයට පත්කරන බවත්, රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියෝග කරන අතර, සැකකාර රියදුරු බන්ධනාගාරවලින් අදාළ වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා