මට ලැබුණේ බෝසත් සැමියෙක්: ඔහු වැනි අයකුට සිදුවූ මේ විපත දරා ගන්න බෑ

කහ ඉරෙන් මගීන්ට මාරුවීමට යතුරු පැදිය නවතාගෙන සිටියදී පිටුපසින් පැමිණි මගමරුවකුට බිලි වූ ලෙස්ටර්

මට ලැබුණේ බෝසත් සැමියෙක්: ඔහු වැනි අයකුට සිදුවූ මේ විපත දරා ගන්න බෑ

බිරිය වැළපෙමින් කියයි

මාර්ග නීති නොසලකා හරිමින් රිය පැද වූ අවිනීත රියැදුරකු නිසා තරුණ එක්දරු පියකු මියගොස් තරුණ මවක් සිඟිති පුතකු සමඟ අසරණ වීමේ ශෝකජනක පුවතක් මාතර මානාවිට ග්‍රාමයෙන් අසන්නට ලැබිණි.

කා අතරත් ජනප්‍රියව සිටි මේ තරුණ පියා අවශ්‍යතාවයන් සඳහා මාතර නගරයට සිය යතුරු පැදියෙන් පැමිණ කහ ඉර අසලින් මගීන්ට මාරුවීමට යතුරුපැදිය නතර කරගෙන සිටියදී ඔහු පසුපසින් පැමිණි ට්‍රක් රථයක් ඔහුගේ යතුරු පැදියේ ගැටීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදු වී තිබේ.

මෙසේ මිය ගියේ ලෙස්ටර් ජයන්ත නැමැති 38 හැවිරිදි විදුලි කාර්මිකයෙකි. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලින් අධ්‍යාපනය ලබා තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කළ ලෙස්ටර් ප්‍රදේශයේ කා අතරත් ඉතාම ජනප්‍රිය පුද්ගලයකු විය. ඔහුගේ නිහතමානී කමත්, අහිංසක කමත්, මනුෂ්‍ය කමත් ඉවසීමත් හැමදෙනාගෙම සිත් දිනා ගැනීමට හේතු විය.

ඔහු මේ හදිසි අනතුරින් මියගිය පුවත සැලවීමෙන් මුළු මාතර පළාතේම ජනතාව එම නිවසට රොක් වී එය අදහාගත නොහැකිව ශෝකී බරිතව සිටියහ.

ඔහුගේ අභාවයෙන් ශෝක වන්නන් අතර සොහොයුරු අරුණ අබේකෝන් මහතා මෙසේ කීවේ ය.

අසරණ වූ ලෙස්ටර්ගේ බිරිය සුධර්මා සහ සිඟිති පුතු

සම්පූර්ණයෙන්ම මගේ සොයුරා අවිනීත රියැදුරෙකුගේ ගොදුරක් වුණා. මෙම රියැදුරු ජංගම දුරකථනයක් කනේ තබාගෙන කථාකරමින් රිය පදවාගෙන එද්දී, කහ ඉර සමීපයේ යතුරුපැදිය නවතාගෙන සිටි මගේ සොයුරාගේ යතුරු පැදියේ පිටුපස හප්පා මෙම අවාසනාවන්ත මරණය වුණා. ඔහු වාහනයේ තිරිංග පෑගීම වෙනුවට ඔහුට ට්‍රක්රථයේ ඇස්ලේටරය පෑගී වාහනය ඉදිරියට වේගයෙන් ඇදී ගොස් යතුරු පැදියේ පිටුපස වැදී තිබෙනවා.

මෙවැනි මාර්ග නීති කඩකරන කිසිදු ඉවසීමක් නැති මඟමරුවන් නිසා අකාලයේ නැතිවන ජීවිත අපමණයි. අසරණ දරු පවුලක් අනාථ වුණා. නීතිය හරිහැටි ක්‍රියාත්මක කර මෙවැනි රියැදුරන්ගේ රිය පැදවීමේ බලපත්‍ර අවලංගු කරන ලෙස අප ඉල්ලා සිටිනවා. මියගිය ලෙස්ටර්ගේ තරුණ බිරිය වූ සුදර්මා චන්ද්‍රකාන්ති (32) මිය සිය සිඟිති පුතු උකුලේ හොවාගෙන ශෝකය දරාගත නොහැකිව හඬමින් සිටියාය. ඇය සිය පේ‍්‍රමණීය සැමියාගේ අභාවය ගැන මෙසේ කීවා ය.

මට ලැබුණේ බුදු දහමට අනුව බෝසත් සැමියෙක්, මේ තරම් ගුණයහපත් සැමියන් ලොවේ ඉන්නව ද කියා කියන්න මම දන්නේ නැහැ. ඒ තරමට සැමියා නිවුණු කෙනෙක්. මගේ සැමියා මටත් සිඟිති පුතුටත් පවුලේ හැම දෙනාටමත් සැනසීම ගෙන දුන්නා. සැමියා ස්වයං රැකියාවක් ලෙස තවත් අයටත් රැකියා සපයමින් විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කළා. මේ සිඟිති පුතුට පුදුම ආදරයකින් හිටියේ.

පුතා සමඟ වැඩි කාලයක් ගත කරන්න දහවලින් වැඩපළ වසා ගෙදර එනවා. සුධර්මා අපි පුතාට හොඳට උගන්වා වෛද්‍යවරයෙක් කරමු යි ඔහු නිතරම මට යෝජනා කළා.

සැකකාර රියැදුරු මාතර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අනතුර පිළිබඳව මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි මාතර රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි. හදිසි මරණ පරීක්ෂණය මාතර හදිසි මරණ පරීක්ෂක ලලිත් සිල්වා මහතා පවත්වා රිය අනතුරක් නිසා මරණය සිදු වී ඇති බවට නිගමනය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා