කොල්ලුපිටිය රේණුකා හෝටලේ දී කතක් ඝාතනය කළ සැකකරු 8දා තෙක් රිමාන්ඩ්

කොල්ලුපිටිය රේණුකා හෝටලේ දී

කතක් ඝාතනය කළ සැකකරු 8දා තෙක් රිමාන්ඩ්

කොල්ලුපිටිය රේණුකා හෝටලයේ කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු 08 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් ඔහු පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (02) නියම කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්වූයේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි සින්නතුරෙයි ඥානචන්ද්‍රන් (48) නමැත්තෙකි. මිය ගිය කාන්තාව වයස අවුරුදු (49) ක් වූ කනබගසබෙයි සුදර්ශනී සහිලා නමැත්තියකි. ඇය දීර්ඝ කාලයක් එංගලන්තයේ ගත කිරීමෙන් පසු ජනවාරි 14 දින නැවත මෙරටට පැමිණ ඇති බව හෙළි වී ඇත. එසේ පැමිණීමෙන් පසු මේ කාන්තාව දින කීපයක සිට මෙම කාමරයේ නතර වී සිට ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

ඇයට මේ හෝටලයේ නවාතැන් ගැනීමට එම්. ගනචන්ද්‍ර නමැත්තකු කාමරය ඇනවුම් කර ඇති බව අනාවරණය වී තිබේ. කළුතර පදිංචි පී.එම්. ධනේෂ් ලක්රුවන් ප්‍රනාන්දු නමැති අය සාක්ෂි සපයමින් මෙසේ පැවසීය. මා රේණුකා හෝටලයේ පිරිසිදු කිරීමේ කටයුතු කරනවා. 2012-02-28 දින සුපුරුදු පරිදි රාජකාරියට පැමිණියා. හෝටලයේ පළමු මහලේ අංක 1 බී කාමරය පිරිසිදු කළා.

යාබද අංක 1 බී කාමරයෙන් ගඳක් ආවා. එය භාරව සිටි අයට දැනුම් දීමෙන් පසු කාමරය විවෘත කර බැලීමේදී අධික ගඳක් ආවා. කාන්තාවක් ඇඳ මත මිය ගොස් සිටියා. මරණකාරියගේ දේපළවන රන් භාණ්ඩ, අත් ඔරලෝසුව, වීසා කාඩ් පතක්, විදෙස් ගමන් බලපත් 03ක්, දේශීය හා විදේශීය මුදල්, ජංගම දුරකතන 02ක් හා මරණකාරියගේ ලේ තැවරුණු ඇඳුම් හා මරණකාරිය ලියන ලදැයි සැක සිතිය හැකි ලේඛණ 05ක් ද කාමරය තුළ තිබී පොලීසිය සොයා ගෙන ඇත.

කාමරය තුළ තිබී සොකෝ නිලධාරීන් සොයාගන්නා ලද පිහියක් හා කතුරක් වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් ඇත. මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා