කාන්තාවක් රවටා රු: 60,000ක මුදල් හා රන් දම්වැලක් පැහැරගෙන

කාන්තාවක් රවටා රු: 60,000ක මුදල් හා රන් දම්වැලක් පැහැරගෙන

මාතර නගරයේදී පුද්ගලයන් 02කු විසින් වැඩිහිටි කාන්තාවක් ඉතා සූක්ෂමව වංචනික ලෙස රවටා රු: 60000.00 ක් වටිනා ගෙළ බැඳි රන් දම්වැළක් හා රු: 30000.00 ක මුදලක් සොරාගෙන තිබෙන බව මාතර පොලිසිය පැවසීය.

පසුගිය දිනක මාතර තුඩාවේ පදිංචි කාන්තාවක් මාතර හක්මන මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ක්ෂණික මුදල් කවුන්ටරයකින් රු: 30000.00 මුදලක් රැගෙන අසල තිබුණු වෙළෙඳ සැලකට ගොස් නිවසට යෑමට මාතර බස් නැවතුම් පොළට එමින් සිටියදී මැදවිය ඉක්ම වූ පුද්ගලයකු විසින් මුදල් නෝට්ටු කීපයක් මාර්ගයේ තිබී අහුලා අම්මේ මම සල්ලි කොළ කීපයක් අහුලා ගත්තා අම්මත් කීයක් හරි ගන්නැයි පැවසූ විට අනේ පුතේ මට නම් මුදල් එපා පවසා යන්න ගිය විට නැවතත් එම පුද්ගලයා අනේ අම්මේ කීයක් හරි ගන්නා ලෙස පැවසූ විට වෙනත් පුද්ගලයකු පැමිණ මොනවද මොනවත් ප්‍රශ්නයක් ද පවසමින් මගේ ළඟ තිබුණු මුදල් නෝට්ටු හැලිලා තිබෙනවා.

එය දෙන්නවත් ගත්තද කියා පැවසූ විට කාන්තාව බය වී කිසිවක් පැවසීමට නොහැකිව බලා සිටිය දී, අම්ම මේ මුදල් ගත්තේ නැත්නම් මගේ අතේ ටිසු කොලයක එතූ චේන් එකක් තියෙනවා. අම්මට තියෙන්නේ අම්මගෙ ගෙළ බැඳි මාල පොට ගලවා මගේ අතේ තිබෙන මාල පොට මත තබා දිවුරන එකයි. එවිට කාන්තාව තම මාලය ගලවා දිවුරා තිබේ.

පසුව එම පුද්ගලයා අම්මා මුදල් අරගෙන නැහැ. කෝ අම්මගේ බෑගය අරින්න මාල පොට දමන්න පවසා බෑගයේ තිබුණු මාල පොට හා රු:30000ක මුදල රැගෙන පලාගොස් තිබෙන අතර කාන්තාව නිවසට ගොස් බෑගය විවෘත කර බැලීමේදී රු: 30000ක මුදල හා රන් දම්වැල එහි තිබී නොමැත. පසුව තවදුරටත් බෑගය පරීක්ෂාකාරීව බැලීමේදී හාල් ඇට ස්වල්පයක් හා ටිසු කොල කෑල්ලක් හමු වී ඇත. එම හාල් ඇට ටිසු කොලයක දවටා රන් දම්වැලක් ලෙස පෙන්වා කාන්තාව රවටා ඇත. මේ සිදුවීම පිළිබඳව කාන්තාව මාතර පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා