ජනපතිතුමන්ට විශේෂ සංදේශයක්

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් ගෙන්

ජනපතිතුමන්ට විශේෂ සංදේශයක්

යහපත් පුරවැසියන් ලෙස සමාජයට ප්‍රවිශ්ට වීමට අවකාශ සැලසීම සම්බන්ධ යෙන් ජනපතිතුමන් ඇතුළු රජයට ස්තූතිය පළකරමින් විශේෂ සංදේශයක් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසින් අගමැති දි. මු. ජයරත්න මහතාට ඊයේ (12) මහනුවර දී බාරදෙනු ලැබිණි.

මෙම මස 30 දින විසිර යෑමට නියමිත පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ 384 දෙනකු සාම චාරිකාවක් සඳහා ඊයේ (12) මහනුවරට පැමිණි අවස්ථාවේ එම පිරිස මෙම සංදේශය බාර දුන් අතර එම අවස්ථාවට බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර්, මහනුවර පුරපති මහේන් රත්වත්තේ යන මහත්වරු ද සහභාගි වූහ.

වසරක කාලයක් පුනරුත්ථාපන ජනරාල් කාර්යාංශය යටතේ පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ 384ක් මෙම අවස්ථාවට සහභාගි වූහ. කාන්තාවන් 70ක් මෙම පිරිසට ඇතුළත් වූ අතර සමස්ත පිරිසෙන් 84 දෙනෙක් ආබාධිත තත්ත්වයේ පසුවූහ. මහනුවර හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු මෙම පිරිස වෙස් නැටුම් සහිත පෙරහරකින් දළදා වීදිය ඔස්සේ රැජින හෝටලය ඉදිරිපිටට පැමිණි අතර ඔවුන් දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් මඟ දෙපස රැඳී සිටියහ.

අගමැති දි. මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන් එම ස්ථානයේදී මෙම පිරිස පිළිගනු ලැබීමෙන් පසු ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා පිරිස පාගමනින් ගමන් ගත්හ.

එහිදී ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්ගේ නිර්මාණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී විවෘත කෙරිණි.

මධ්‍යම පළාත් සභාව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් පුනරුත්ථාපන ජනරාල් කාර්යාංශය හා බෝගම්බර බන්ධනාගාරය එක්ව මෙම චාරිකාව සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි, මේජර් ශිරන්ත ගුණවර්ධන, මධ්‍යම පළාත් පාලන සහකාර කොමසාරිස් ඩී. ඩබ්ලිව්. මාරඹගේ යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා