විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ අඛණ්ඩව විරෝධතාවේ

අමෙරිකා යෝජනාවට එරෙහිව

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ අඛණ්ඩව විරෝධතාවේ

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරය වෙත අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ.

ස්වශක්තියෙන් නැඟී සිටින ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයන වැඩපිළිවෙල පරාජයට පත් කිරීමේ අරමුණින් විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සංවිධානය කළ විරෝධතා ව්‍යාපාර රැසක් මේ වනවිටත් පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ සහභාගි වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට ඉතාලියේ මිලානෝ නුවර, ප්‍රංශයේ පැරිස් නුවර සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර මෙන්ම ඉතාලියේ නාපෝලි, පිරෙන්සි. වෙරෝනා, කටානියා නගරවලදීද උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා තිබේ. එළඹෙන 23 දා තෙක් ලෝකයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් තවදුරටත් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබේ.

සාමකාමීව සංවිධානය කරන මේ විරෝධතා ව්‍යාපාර වෙනුවෙන් විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනින් සහභාගි වන බවත් එය "යුරෝපයේ ශ්‍රී ලාංකික එකමුතුව" සංවිධානය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාවට එරෙහිව අනිසි බලපෑම් සිදු නොකරන ලෙසත් එවන් බලපෑම්වලදී ඊට එරෙහිව තම පූර්ණ විරෝධතාව ප්‍රකාශ කරන බවටත් ප්‍රකාශ කෙරෙන පුවරු ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකිකයෝ සිය විරෝධතාව පළ කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා