අධ්‍යාපනය සෑම අංශයකම විධිමත්ව විහිදී යා යුතුයි

අධ්‍යාපනය සෑම අංශයකම විධිමත්ව විහිදී යා යුතුයි

අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන

තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි, විදේශ භාෂා, ගණිතය හා විද්‍යාව සහ ක්‍රීඩාව යන විෂයන් යටතේ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත්ව විහිදී යායුතු බව අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කවර ජන වර්ගයක්, කවර ආගමක් ඇදහුවත් දරුවන් විශ්වයටම සම්පතක් යැයිද එම දරුවන් විශ්වයට වැදගත් පුරවැසියන් කරන්නේ පාසල් අධ්‍යාපනය බවද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

කොළඹ, සාහිරා විද්‍යාලයේ 120 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා ඉකුත් දා (01) මේ අදහස් පළ කළේය.

අධ්‍යාපනය ලබන කාලයේ මුස්ලිම් හා සිංහල දරුවන් අතර හට නොගන්නා මිත්‍රත්වය හා සහයෝගීතාව වැඩිහිටි පුද්ගලයන් ලෙස සමාජගතවීමෙන් අනතුරුව සමාජය විසින්ම බලාපොරොත්තු වන බව ඇමැතිවරයා කීය. එම මිත්‍රත්වය පාසල් අවධියේ සිට ඇති වන්නක් විය යුතු යැයිද ඒ මහතා කීය.

ගුරුවරුන් දෙලක්ෂ දාහත්දහසක් යටතේ පාසල් දසදහසක මිලියන හතරකට අධික ප්‍රමාණයක් සිසු දරුවන් අධ්‍යාපනය ලබන මේ රටේ තරම් නිදහස් අධ්‍යාපනය, පෙළ පොත්, නිල ඇඳුම් සහ ආහාර ලබා දෙන රජයක් නොමැති බවද ඇමැතිවරයා කීවේය.

සිසුන් තිස් පහක් තරම් සුළු ප්‍රමාණයකින් හා අවම පහසුකම් යටතේ ආරම්භ කළ සාහිරා විද්‍යාලය මේ වන විට කීර්තිමත් පාසලක් බවට පත්ව ඇති බවත් ඉදිරි වැඩකටයුතු සඳහා නොමද සහාය ලබා දීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

සාහිරා විද්‍යාලයේ විදුහල්පති මොහොමඩ් ජිෆ්රි මහතා-

120 වැනි සංවත්සරය සමරන සහිරා විද්‍යාලය ආරම්භ කළේ 1872 වසරේදීයි. ළමයි තිස්පහකගෙන් විද්‍යාලය ආරම්භ කිරීමට මුල් වූයේ ඒ.සී.සිද්ධි ලෙබ්බේ, ඒ.එම්.ඩබ්ලිව්.මරික්කාර්, අයි.සී.එම්.අසීස් මහත්වරුනුයි.

පාසලේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා දායක වූ අල්හාජ්, එම්.ඩී.එච්. අබ්දුල් කපූර් හා පි.වී.උම්බිච් මහත්වරුන්ටද අපගේ ගෞරවය හිමි වනවා.

අප පාසලේ ගුරුවරුන් 256ක් සිටින අතර අවුරුදු 25කට වඩා සේවය කළ ගුරුවරුන් 29ක් සිටිනවා. තවත් 75 දෙනෙක් දස වසරකට වඩා සේවය කර තිබෙනවා. ළමයින් 4642ක් භාෂා තුනෙන්ම අධ්‍යාපනය ලබනවා.

2011 සහ 2012 වසරවල ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිවයිනේ දක්ෂතම කණ්ඩායම් පහ අතරට පැමිණීමටත් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමටත් සහිරා විද්‍යාලය සමත් වුණා.

ජාතික පාපන්දු තරගාවලියේ සූරයන් වීමටත් ක්‍රීඩා අධ්‍යාපනය අතින් ඉස්ලාම් සමිතියේ කැඩෙට් බාලදක්ෂ ආදී විවිධ සමාජ තිබෙනවා.

ගුරු පුහුණු, විද්‍යා ප්‍රදර්ශන, ඉංගී‍්‍රසි භාෂා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. අපේ අරමුණ වන්නේ සහිරා පාසල මේ රටේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්වන පාසලක් බවට පත් කිරීමයි.

අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා, ආදිශිෂ්‍ය සංගමයේ මහාචාර්ය ටියුලි ද සිල්වා මහතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

6 වසර සිට 13 වසර දක්වා සිසුන් සහ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගය හදාරන සිසුන් මෙහිදී සහතික හා ත්‍යාග ලබා ගත්හ.

වසරේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනමන අල්හාජ් එම්.බී.එච් අබ්දුල් ගෆූර් රන් සම්මානය දේශමාන්‍ය අල්හාජ් මහාචාර්ය එම්.පී.ඒ.ෆුරුකාන් රන් සම්මානය එම්.ආර්.එම්.ක්‍රිස්කි සහ එම්.කේ.එම්.රිතිකාන් ශිෂ්‍යයන් විසින් දිනා ගැණිනි.

ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.අස්වර්, පාලක මණ්ඩලයේ සභාපති ආදි ශිෂ්‍ය සංගම් ප්‍රධානි අල්හාජ් කව්සිල් හමීඩ් මහතා සභාව ඇමතූ අතර නියෝජ්‍ය විදුහල්පති ටී. මරික්කාර්, ජ්‍යෙෂ්ට උප විදුහල්පති ආනන්ද පොන්නම්පෙරුම, උප විදුහල්පති කේ. කවිත්තිරන්, උප විදුහල්පතිනී මාලනී ගුණරත්න මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වුහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා