කාසල් වීදියේ කාන්තා රෝහලේ කිසිම දරුවකුට විෂබීජ ඇතුළුවී නෑ

කාසල් වීදියේ කාන්තා රෝහලේ කිසිම දරුවකුට විෂබීජ ඇතුළුවී නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි

කාසල් වීදියේ කාන්තා රෝහලේ කිසිම දරුවකුට කිසිම විෂබීජයක් ඇතුළු වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගාමිණී සමරසිංහ හා වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහත්වරු කාසල් වීදියේ කාන්තා රෝහලට ගොස් මේ පිළිබඳ පූර්ණ සොයා බැලීමක් සිදු කළහ.

කිසිම දරුවකුට විෂබීජ ශරීරගත වී නොමැති බව මෙහිදී අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ රෝහලේ ළදරුවන් 11 දෙනකුට විෂබීජ ශරීරගත වී ඇති බවට රුධිර සාම්පල පරීක්ෂණ මඟින් තහවුරු වී ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කළ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

කාසල් රෝහලේ ළදරු ඒකකයේ ඉහළ මාලයේ වෛද්‍ය වායු හා ඔක්සිජන් සැපයුම් මාර්ග පුළුල් කර පහසුකම් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින නිසා ඉහළ මාලයේ පවත්වාගෙන යන ළදරු දැඩි සත්කාර ඒකකයේ ළදරුවන් පහළ මාලයේ සියලු පහසුකම් සහිත ස්ථානයකට තාවකාලිකව යොමු කර තිබේ.

එම ඒකකයේ අලුත්වැඩියා කටයුතු අවසන් කළ වහාම පහළ මාලයේ දරුවන් ඉහළ මාලයේ දැඩි සත්කාර ඒකකයට යොමු කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා පවසයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළදරු ඒකකය මීට මාසයකට පමණ පෙර විෂබීජයක් ඇතුළු වීම නිසා වසා දැමූ බවත් එහි අලුත්වැඩියා කටයුතු අවසන් කර මේ සිකුරාදා වන විට විවෘත කිරීමට කටයුතු කරන බවත් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා