සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් කෝටි 11,300ක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් කෝටි 11,300ක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා මේ වසරට රුපියල් කෝටි 11,300 ක මුදලක් රජය වෙන්කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මාධ්‍ය ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඔහු මේ බව ඊයේ (12) ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන් කර තිබියදීත් ඒ මුදල්වලට රජය සිදු කරන්නේ කුමක්ද කියා ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න කරන බවත් යුද්ධය අවසන් කළ 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි තුන්දහස් එකසියයකින් (3100) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට ලබාදෙන මුදල් ප්‍රතිපාදන ඉහළ නංවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව යුද්ධය අවසන් කළ වසරේ සිට වසරක් පාසා රුපියල් කෝටි 1000 බැඟින් මුදල් ප්‍රතිපාදන ඉහළ නංවා තිබෙන බව ද අධ්‍යාපනය ඇතුළු වෙනත් ක්ෂේත්‍රවලට ලබාදෙන මුදල් ද ඉහළ නංවා ඇති බව ද ඔහු පැවැසුවේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ අවස්ථාවන්හිදී මහා භාණ්ඩාගාරය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සමඟ සාකච්ඡා කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ ඒ අංශවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට ද කටයුතු කරන බව කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් විශාල මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට අයවැයෙන් වෙන් කර ඇති බවද හෙතෙම කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා