දරුවන් 21ක් දායාද කළ පොඩි නෝනා මාතාව ඇතුළු 2100ක් ‘අභිමන් මාතා’ බුහුමන් ලබති

දරුවන් 21ක් දායාද කළ පොඩි නෝනා මාතාව ඇතුළු 2100ක් ‘අභිමන් මාතා’ බුහුමන් ලබති

සිය කුසින් දූ දරුවන් අට දෙනකුට වඩා රටට දැයට බිහිකළ සහ සිය දූ දරුවන් තිදෙනෙකුට වඩා වැඩි දෙනෙකු උපාධිධාරීන් බවට පත් කළ රත්නපුර දිස්ත්‍රික්කයේ වීර මාතාවන් දෙදහස් එකසිය දෙනෙකු (2100) වෙත උපහාර තිළිණ පිරිනැමෙති.

“අභිමන් මාතා” නැමති මේ මාතෘ උපහාර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේදී පැවැත්විණි.

සබරගමුව පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු ඇමැති අධිනීතිඥ භාණු මුනිපි‍්‍රය මහතාගේ සංකල්පයක් අනුව එය සංවිධානය කර තිබෙන අතර එම උත්සවයට සමඟාමීව විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල, පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ ඒකකය සිසු අයිතියට පැවරීමද සිදුවිය. සිය කුසින් බිහි කළ දූ දරුවන් 21 දෙනෙකු රටට දැයට දායාද කළ ගොඩකවෙල ඩබ්. එම්. පොඩිනෝනා මාතාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ වීර මාතාවෝ දෙදහස් එකසිය දෙනෙකු ජනපතිඳු අතින් බුහුමන් ලබති.

දරුවන් 21 දෙනෙකු සිය කුසින් මෙලොවට බිහිකළ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි අනූඅට හැවිරිදි ඩබ්.එම් පොඩිනෝනා මාතාව “අභිමන් මාතා” වැඩසටහන යටතේ මුලින්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ගෞරව ප්‍රණාමයට ලක් වූවාය.

දරුවන් 17 දෙනෙකු කුසින් බිහි කළ එම්. ආර්. පොඩි මැණිකේ මෙන්ම 14 දෙනෙකු බිහිකළ අබ්දුල්ලා මරිඩා සහ 11 දෙනෙකු දැයට දායාද කළ මල්මාලා වල්ලි මාතා යන මාතාවෝද ජනාධිපතිවරයා අතින් බුහුමන් ලැබූහ.

ඊට අමතරව උපාධිධාරීන් තිදෙනෙකුට වැඩි දූ දරුවන් පිරිසක් බිහිකළ මාතාවන්ද උපහාර තිළිණ ලබාගත් අතර එහිදී නීතිවේදී දූ දරුවන් හය දෙනෙකු දැයට දායාද කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම නීතිවේදී පවුල නිර්මාණය කළ ඈන් ප්‍රනාන්දු මාතාව සහ උපාධිධාරීන් තිදෙනෙකුට වඩා දැයට දායාද කළ මවුවරුන් රැසක්ද මහින්ද රාජපක්ෂ මහතා අතින් උපහාර තිළිණ ලබා ගත්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා