ආරක්ෂක අමාත්‍යාංශය ඩෙංගු මඬින සටනට බසී

ඩෙංගු රකුසාට බර අවි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යාංශය ඩෙංගු මඬින සටනට බසී

සියලුම රාජ්‍ය ආයතන පරීක්ෂාවට

මදුරු ආකර හමුවුණොත් තරාතිරම නොබලා දඬුවම්

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම යටතේ ජාතික ඩෙංගු මර්දන කාර්ය සාධක බළකායේ මෙහෙයවීමෙන් සියලුම රජයේ ආයතනවල මදුරු මර්දනය සඳහා දැවැන්ත මෙහෙයුමක් අද (22) සිට ක්‍රියාත්මක කැරේ.

රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, කොමිෂන් සභා ඇතුළු සියලු රාජ්‍ය ආයතන මේ යටතේ විශේෂ පරීක්ෂාවට ලක්කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි ක්‍රියාත්මක වන මේ වැඩසටහනට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ පූර්ණ සහයෝගය ලබාදීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය එකඟතාව පළ කැර තිබේ.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් පසුගිය 19වැනිදා සිදු කළ සාකච්ඡාවේ දී මේ එකඟතාව පළව තිබේ.

ඩෙංගු වසංගත තත්ත්වයක් උද්ගත වීම සැළකිල්ලට ගෙන ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය ජාතික මදුරු මර්දන මාසයක් ප්‍රකාශය පත් කැර ඇති අතර ඊට සමගාමීම මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟේ.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා කීටවිද්‍යා නිලධාරීන් ඒ ඒ රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවල සහාය ලබාගෙන අදාළ ආයතනවලට අයත් පරිශ්‍ර සියල්ල විශේෂ මදුරු මර්දන පරීක්ෂාවකට ලක්කිරීමට නියමිත ය. එසේම කලින් නොදන්වා එක් එක් ආයතන වෙත ගොස් මේ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

රජයේ ආයතනවලින් පසුගිය සමයේ ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තාවී තිබිණි. ඒ පිළිබඳ කළ සොයාබැලීම්වල දී එම ස්ථාන ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන පවතින බව සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර රාජ්‍ය ආයතන ආශ්‍රිතව මදුරු මර්දනය සඳහා පියවර ගන්නැයි ජනාධිපති ලේකම්වරයා පසුගිය මාර්තු මාසයේ චක්‍රලේඛයක් ද නිකුත් කැර තිබිණි. එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රජයේ ආයතනවල මදුරුවන් බෝවීමට වැඩිවශයෙන් හේතුවී ඇත්තේ ඒවායේ කාණු, වැහිපීලි සහ වායු සමීකරණ යන්ත්‍ර පවිත්‍ර නොකිරීම බව හෙළිව තිබේ.කිසියම් ආයතනයකින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයාගතහොත් ඒ ස්ථාන සියල්ල විනාශ කැර දැමීමටත්, කිසියම් පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් සහිත ස්ථාන හමුවුවහොත් තරාතිරම නොබලා ආයතනයේ ප්‍රධානියාට එරෙහිව නඩු පැවරීමටත් ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් දිනමිණට කීය. මදුරු මර්දනය ජාතික අවශ්‍යතාවක් සේ සළකා මේ වැඩසටහනට සහාය දක්වන්නැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආයතන මෙන්ම මහජනතාවගෙන්ද ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා