මෙරට භූමිය හෝ අවට සාගරය ලෝක බලවතුන්ට අනිසි ලෙස භාවිතයට ඉඩ දෙන්නෑ

මෙරට භූමිය අවට සාගරය ලෝක බලවතුන්ට අනිසි භාවිතයට ඉඩ දෙන්නෑ

(2012-06-22 12:35) ලෝකයේ මහ බලවතුන්ට අන්‍යෝන්‍ය ප්‍රතිවාදී ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා භූමිය හෝ ඒ අවට සාගරය යොදා ගැනීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ඉන්දියාවේ කේරළයේ පැවැති සමුළුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි..

අතීතයේ සිටම ලෝක බලවතුන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉටුකර ගැනීම සඳහා ඉන්දියන් සාගරය ප්‍රයෝජනයට ගෙන තිබෙන බව පෙන්වාදුන් මහ කොමසාරිස්වරයා පෙර අපර වෙළෙඳ කටයුතුවලදී ඒ තත්ත්වය හොඳින් දක්නට ලැබුණු බවත් ශ්‍රී ලංකාව එහි වැදගත් ස්ථානයක පිහිටා තිබෙන බවත් සඳහන් කර ඇත.

මේ හේතුව මත ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් නිරන්තරයෙන් එල්ල වන බව පෙන්වාදී තිබෙන ප්‍රසාද් කාරියවසම් මහතා එසේ වුවද ශ්‍රී ලංකාව සෑම අවස්ථාවකම තම ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කර තිබෙන බවත් හැමවිටම කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව තහවුරු වන පරිදි දැඩි විමසිල්ලෙන් කටයුතු කර තිබෙන බව පවසා තිබේ..

ඉන්දියාවේ සැලකිල්ල සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව සඳහන් කර ඇති ඒ මහතා කලාපීය ක්‍රමෝපායික ස්ථාවරත්වයට දායක වන පරිදි කටයුතු කරන බව අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බව සඳහන් කර ඇති ප්‍රසාද් කාරියවසම් මහතා ඉන්දියාව, චීනය, පාකිස්තානය, ජපානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද ප්‍රකාශකර තිබේ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා